
මේ වන විට ශ්‍රී ලාංකික භික්ෂු සමාජය මුල් කොට ගනිමින් අනේක විධ චෝදනා එල්ල වෙමින් පවතී. මේ චෝදනා සියල්ල සහේතුක හෝ අහේතුක ලෙස වෙන් කොට දැක්වීම අසීරු ය. නමුත් ඒ පිළිබඳව වර්තමාන සමාජයේ මතුවන වැදගත් ප්‍රශ්නයක් තිබේ; එනම් එක් භික්ෂුවකගේ විනය විරෝධී හෝ සදාචාර විරෝධී හැසිරීමක් සම්බන්ධයෙන් සමස්ත සංඝ සමාජයම වගකිව යුතුද? යන්නයි. මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේදී පුද්ගල වගකීම, සංඝ වගකීම, ආයතනික වගකීම සහ සමාජීය ප්‍රතිවිපාක යන කරුණු වෙන් වෙන්ව සලකා බැලිය යුතු වේ. ත්‍රිපිටකයේ විනය පිටකය අධ්‍යයනය කිරීමෙන් පෙනී යන මූලික කරුණක් වන්නේ, භික්ෂුවකගේ නොමනා හැසිරීම ඔහුගේ පෞද්ගලික ආපත්තියක් වුවද, එහි සමාජීය ප්රතිවිපාකය බොහෝ විට එම භික්ෂුවගෙන් ඔබ්බට ගොස් සමස්ත සංඝ සමාජයටම බලපාන බවයි. එබැවින් “වගකීම” යන වචනයෙන් අදහස් කරන්නේ කුමක්දැයි පළමුව නිශ්චය කිරීම අත්‍යවශ්‍ය වේ.
බුදුන් වහන්සේ විනය ශික්ෂාපද පැනවීමේදී භික්ෂූන්ගේ පෞද්ගලික ආධ්‍යාත්මික පාරිශුද්ධිය පමණක් නොව, ගිහි සමාජය තුළ ශාසනය කෙරෙහි පවතින ශ්‍රද්ධාව, ගෞරවය සහ විශ්වාසයද සැලකිල්ලට ගත් බව පෙනේ. විනය පිටකයේ නැවත නැවත හමුවන වැදගත් ප්‍රකාශයක් වන්නේ “අප්පසන්නානං වා පසාදාය, පසන්නානං වා භිය්‍යෝභාවාය” යන්නයි. එහි අදහස වන්නේ පැහැදීමක් නොමැති අයගේ පැහැදීම ඇති කිරීමත්, දැනටමත් පැහැදී සිටින අයගේ පැහැදීම තවදුරටත් වර්ධනය කිරීමත් ය. භික්ෂු සමාජයේ චිරස්ථිතිය අරමුණු කර ගත් මෙයින් පැහැදිලි වන්නේ විනය යනු භික්ෂුවකගේ පෞද්ගලික හැසිරීම් පාලනය කරන නීති පද්ධතියක් පමණක් නොවන බවයි. එය භික්ෂු සමාජය සහ ගිහි සමාජය අතර ඇති විශ්වාසය ආරක්ෂා කරන සමාජීය ආචාර පද්ධතියක්ද වේ. එබැවින් යම් භික්ෂුවකගේ ක්‍රියාවක් නිසා “ශාක්‍යපුත්‍ර ශ්රමණයන්” පිළිබඳව ගිහි සමාජය තුළ අප්‍රසාදයක් හෝ සැකයක් ඇති වූ විට, බුදුන් වහන්සේ එම සිද්ධිය පෞද්ගලික වරදක් ලෙස පමණක් නොසලකා විනයානුකූල ප්‍රතිචාරයක් ලබා දුන් අවස්ථා රාශියක් විනය පිටකයෙන් හඳුනාගත හැකි ය.

මෙයට ප්‍රබල උදාහරණ කිහිපයක් තිබේ. බෞද්ධ විනය පිටකයට අයත් පාරාජිකා පාලියේ සඳහන් ධනිය භික්ෂුවගේ සිදුවීම ඉන් එකකි. ධනිය භික්ෂුව රාජකීය දැව භාවිත කරමින් කුටියක් ඉදිකිරීම සම්බන්ධ ගැටලුවකට මැදි විය. එම සිදුවීම සමාජය තුළ විවේචනයට ලක් වූයේ ඔහුගේ පෞද්ගලික ක්‍රියාවක් ලෙස පමණක් නොවේ. පොදුවේ භික්ෂූන් පිළිබඳව සැකයක් සහ අප්‍රසාදයක් ඇතිවන ආකාරයට ඊට සමාජමය ප්‍රතිචාරයක් එල්ල විය. මෙහි දී විනය නීතියේ අරමුණ වූයේ වරද කළ පුද්ගලයා පමණක් පාලනය කිරීම නොව, භික්ෂු සමාජයේ සදාචාරාත්මක ප්රතිරූපයද ආරක්ෂා කිරීම ය. එය විනය පිටකයේ සුවිශේෂී සමාජ විද්‍යාත්මක පැතිකඩක් පෙන්නුම් කරයි. එනම්, වරද පෞද්ගලික වුවද එහි කීර්තිනාම හා සමාජීය ප්‍රතිවිපාක සාමූහික විය හැකි බව ඉන් අවධාරණය කෙරේ.
භික්ෂූන්ගේ නොමනා හැසිරීම් සම්බන්ධයෙන් ගිහි ජනතාව විසින් “උජ්ඣායති, ඛිය්යති, විපාචේති” යන ආකාරයේ ප්‍රතිචාර දැක්වූ බව විනය පිටකයේ විවිධ තැන් වල සඳහන් වේ. එනම් ජනතාව අසතුට පළ කළහ, දෝෂාරෝපණය කළහ, විවේචනය කළහ. මෙවැනි සමාජ ප්‍රතිචාර විනය ශික්ෂාපද බිහිවීමේ එක් වැදගත් මූලයක් විය. මෙහිදී බුදුන් වහන්සේගේ ප්‍රවේශය විශේෂයෙන් වැදගත් ය. උන්වහන්සේ එක් භික්ෂුවකගේ වරද නිසා සියලු භික්ෂූන් “වරදකරුවන්” බවට පත් නොකළහ. ඒ වෙනුවට වරද හඳුනාගෙන, එයට අදාළ ශික්ෂාපදයක් පනවා, අනාගතයේදී එවැනි හැසිරීම් වැළැක්වීමට විනයානුකූල පද්ධතියක් ස්ථාපිත කළහ.
ඡබ්බග්ගිය භික්ෂූන් සම්බන්ධ සිදුවීම් මාලාව මේ සම්බන්ධයෙන් තවත් වැදගත් සාක්ෂියකි. ඔවුන් තම සිරුරු ගල් හා බිත්තිවල අතුල්ලමින් ස්නානය කිරීම, සම්බාහනය කරවා ගැනීම, කණ්ණාඩියෙන් මුහුණ බැලීම ආදී ලෞකික හැසිරීම්වල නිරත වූ අවස්ථා විනය පිටකයේ සඳහන් වේ. එවැනි ක්‍රියා දුටු ගිහි ජනතාව ඒවා එක් එක් භික්ෂුවගේ නමට පමණක් සීමා නොකර “ශාක්‍යපුත්‍ර ශ්රමණයන්” පිළිබඳ පොදු විවේචනයක් බවට පත් කළහ. එසේම නියමිත වේලාවෙන් බැහැරව ගම්වලට ගොස් මහජන ශාලාවල රැඳී සිටිමින් රාජ්‍ය කටයුතු, යුද්ධ, ආහාර, කාන්තාවන් ආදී ලෞකික කරුණු පිළිබඳ කතා කිරීම ද මහජන විවේචනයට ලක්විය. රජුගේ හමුදාව නැරඹීමට යාම සහ හමුදාව සමඟ දිගු වේලාවක් රැඳී සිටීම සම්බන්ධයෙන්ද විනය නීති පැනවීමට සිදුවිය. මෙයින් පෙනී යන්නේ භික්ෂුවකගේ හැසිරීම සමාජය විසින් බොහෝවිට “මෙම පුද්ගලයාගේ හැසිරීම” ලෙස නොව, “භික්ෂූන්ගේ හැසිරීම” ලෙස පොදුකරණය කළ හැකි බවයි. එය අද සමාජයේ ද අපට හඳුනාගත හැකි සමාජ මනෝ විද්‍යාත්මක සංසිද්ධියකි.
පාචිත්තිය පාලියේ පථවීඛණන සිද්ධියද මෙහිදී වැදගත් වේ. ආළවීහි භික්ෂූන් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා පොළොව හෑරීම සම්බන්ධයෙන් ජනතාවගෙන් විවේචන එල්ල විය. එම කාලයේ පැවති “පොළොවෙහි ජීවීන් සිටිති” යන සමාජ විශ්වාසය ද මෙයට හේතු විය. ඒ සඳහා වූ බුදුන් වහන්සේගේ විනයානුකූල ප්‍රවේශයෙන් පැහැදිලි වන්නේ භික්ෂූන්ගේ හැසිරීම සමාජයේ පැවති සංවේදීතා හා විශ්වාස නොසලකා සිදු නොවිය යුතු බවයි. මෙහිදී අවධාරණය වන්නේ අන්ධ ලෙස සමාජ මතයට යටත් වීමක් නොව, භික්ෂු ජීවිතය සමාජයට ඇති කරන අනිසි බලපෑම නතර විය යුතු බවකි.

අංගුලිමාල තෙරුන් පැවිදි කිරීමෙන් පසු ඇති වූ බරපතල සමාජ විරෝධය ද මෙහිදී වැදගත්ය. කවුරුත් දන්නා අන්දමට අංගුලිමාල යනු පැවිදි වීමට පෙර බරපතළ අපරාධකාරී ක්‍රියාවලට සම්බන්ධ වූ පුද්ගලයෙකි. බුදුන් වහන්සේ ඔහුගේ පසුකාලීන ආධ්‍යාත්මික පරිවර්තනය පිළිගත්තද, මෙවැනි පුද්ගලයන් පැවිදි කිරීම සම්බන්ධයෙන් පසුව විනයානුකූල සීමා ඇති කිරීමට හේතු වූයේ සමාජ ආරක්ෂාව හා ජනතා විශ්වාසය පිළිබඳ කරුණු ය. මෙයින් දක්නට ලැබෙන්නේ බුදුන් වහන්සේ පුද්ගලයාගේ අභ්‍යන්තර පරිවර්තනය පමණක් නොව, පැවිදි කිරීමේ ක්‍රියාවලියෙන් සමාජයට ඇති විය හැකි බලපෑමද සැලකිල්ලට ගත් බවයි.
එක් භික්ෂුවකගේ වරදකින් ඔබ්බට ගොස්, භික්ෂූන් අතර ඇතිවන අභ්‍යන්තර ගැටුම් පවා ගිහි සමාජයට හා සංඝ ගෞරවයට බලපාන බව කොසඹෑ භික්ෂූන්ගේ අර්බුදයෙන් පැහැදිලි වේ. විනය කාරණයක් සම්බන්ධයෙන් භික්ෂූන් දෙපාර්ශ්වයකට බෙදී ගැටුමක් ඇති වූ විට, බුදුන් වහන්සේ එයින් ඉවත්ව පාරිලෙය්‍යක වනයට වැඩම කළ බව විනය හා සම්බන්ධ සූත්‍ර-අටුවා සම්ප්රදායෙහි සඳහන් වේ. ගිහි ජනතාව ද භික්ෂූන්ගේ අසමගිය පිළිබඳව ප්‍රතිචාර දක්වමින් ඔවුන්ට දානය හා සැලකිලි සීමා කළහ. අවසානයේ භික්ෂූන්ට තම හැසිරීම පිළිබඳව නැවත සිතා බැලීමට සිදුවිය. සමගිය පිළිබඳ සාමගාම සූත්‍රයේ දැක්වෙන දේශනාත් මෙයට පුළුල් ධර්මමය පසුබිමක් සපයයි. සංඝ අසමගිය යනු භික්ෂූන් කිහිපදෙනෙකු අතර පෞද්ගලික ගැටුමක් පමණක් නොව, දෙවි මිනිසුන් සහිත සමාජයටම අහිතකර ප්‍රතිවිපාක ඇති කළ හැකි තත්ත්වයක් ලෙස බුද්ධ දේශනාවෙන් පහදා දී ඇත.
එසේ නම් “එක් භික්ෂුවකගේ වරදට සමස්ත සංඝයාම වගකිව යුතුද?” යන්න ඉතා සංතීක්ෂණ ලෙස විමසා බැලිය යුත්තකි. පළමුව පුද්ගල විනයාපරාධයේ වගකීම පිළිබඳව සැලකිලිමත් විය යුතු ය. එක් භික්ෂුවක් පාරාජිකා, සංඝාදිසේස, පාචිත්තිය හෝ වෙනත් ආපත්තියකට පත්වන්නේ නම්, එම ආපත්තියේ මූලික විනයානුකූල වගකීම ඔහුටම අයත් වේ. ඔහු කළ ක්‍රියාව අනෙකුත් භික්ෂූන්ගේ ආපත්තියක් බවට ස්වයංක්‍රීයව පත් නොවේ. දෙවනුව අවධාරණය විය යුත්තේ අනෙකුත් භික්ෂූන්ගේ වගකීම ය. ඒ අනුව යම් භික්ෂුවක් විනය විරෝධී ක්‍රියාවක නිරත වන බව දැන සිටින අනෙකුත් භික්ෂූන්ට එය නිවැරදි කිරීමට, අවවාද කිරීමට සහ අවශ්‍ය අවස්ථාවල විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට වගකීමක් තිබේ. එබැවින් “මගේ වරදක් නොවේ” යනුවෙන් පවසමින් දැන දැනම වරදක් වසන් කිරීම, ආරක්ෂා කිරීම හෝ වරදකරුවාට අනුබල දීම යනු වෙනම විනයානුකූල ගැටලුවක් නිර්මාණය කරන්නකි. තෙවනුව සංඝයාගේ ආයතනික වගකීම අනුව සමහර බරපතළ ආපත්ති සම්බන්ධයෙන් අවසන් විනය ක්‍රියාමාර්ග තනි භික්ෂුවකට කළ නොහැක. සංඝයා විසින්ම ඒවා සිදු කළ යුතුය. විශේෂයෙන් සංඝාදිසේස ආපත්තියකට පත් වූ භික්ෂුව සම්බන්ධයෙන් පරිවාස, මානත්ත සහ අවසාන පුනරුත්ථාපන ක්‍රියාමාර්ග සංඝයාගේ විනයානුකූල ක්‍රියාදාමය තුළ සිදු වේ. එබැවින් මෙහිදී සංඝයාට ආයතනික වගකීමක් ඇත.
මෙම වෙනස වඩාත් පැහැදිලිව පෙනෙන්නේ සංඝභේදය සම්බන්ධ විනය නීතිවලිනි. එක් භික්ෂුවක් සංඝයා භේද කිරීමට උත්සාහ කරන විට, අනෙකුත් භික්ෂූන් ඔහුට එය ධර්ම-විනයට අනුකූල නොවන බව පෙන්වා දී එය නතර කරන ලෙස අවවාද කළ යුතු ය. දැන දැනම එවැනි තත්ත්වයක් නොසලකා හැරීම සම්බන්ධයෙන් අනෙකුත් භික්ෂූන්ට ද විනයානුකූල වගකීම් ඇති විය හැකිය. මෙයින් ඉතා වැදගත් මූලධර්මයක් හෙළි වේ: වරද නොකළ පුද්ගලයා වරදේ ප්‍රධාන වග උත්තරකරු නොවේ; නමුත් වරද දැන සිටියදී එය නිවැරදි කිරීමට තමන්ට ඇති විනයානුකූල යුතුකම පැහැර හැරීම වෙනම වගකීමක් කඩ කිරීමකි.
මෙහිදී සමාජ සාකච්ඡාවල බහුලව සිදුවන තවත් වැරදි හඳුනාගැනීමක් තිබේ. “එක් භික්ෂුවකගේ වරද නිසා සංඝයාගේ ගෞරවයට හානි විය” යන්න සත්‍ය විය හැකිය. නමුත්, “එක් භික්ෂුවකගේ වරද නිසා සියලු භික්ෂූන්ම එම වරදට වගකිව යුතුය” යන්න විනයානුකූලව සත්‍ය නොවේ. පළමු ප්‍රකාශය සමාජීය හා ආයතනික ප්රතිවිපාකය පිළිබඳව ය. දෙවන ප්‍රකාශය පෞද්ගලික විනයාපරාධ වගකීම පිළිබඳව ය. මේ දෙක එකිනෙක සමඟ පටලවා නොගත යුතුය.
එසේ වුවද, “වරද මගේ නොවේ” යන තර්කය සෑම අවස්ථාවකදීම භික්ෂුවකට ප්‍රමාණවත් නොවේ. යම් භික්ෂුවක් බරපතළ විනය විරෝධී ක්‍රියාවක් කරන බව සංඝ සාමාජිකයන් දැන සිටින්නේ නම්, එය සඟවා තැබීම, වරදකරු ආරක්ෂා කිරීම, සාධාරණ විනය පරීක්ෂණයකට ඉඩ නොදීම හෝ සංඝ නාමය භාවිත කරමින් වරද වසන් කිරීම මඟින් තත්ත්වය තවත් බරපතළ විය හැකිය. එබැවින් විනයානුකූල නිහඬතාව සහ වගකීම් විරහිත නිහඬතාව අතර වෙනස හඳුනාගත යුතුය. භික්ෂුවකගේ වරද නිවැරදි කිරීමට ඇති අවස්ථාව තිබියදීත්, ධර්ම-විනයේ නාමයෙන් ක්‍රියා නොකිරීම සංඝයාගේ ආයතනික සදාචාරයට බරපතල හානි කළ හැකිය.

මෙම විනයානුකූල මූලධර්මය වර්තමාන සමාජයටද ඉතා වැදගත්ය. එවැනි අවස්ථාවක සාධාරණ ප්‍රවේශය වන්නේ වරදකරු හඳුනාගෙන ඔහුට අදාළ වගකීම පැවරීමත්, වරද සම්බන්ධයෙන් සංඝයාට ඇති ආයතනික වගකීම ඉටු කිරීමත් ය. අනෙක් අතට, එක් භික්ෂුවකගේ වරදක් පදනම් කරගෙන සමස්ත භික්ෂු සමාජයම දූෂිතයැයි නිගමනය කිරීමද ධර්ම-විනයානුකූල සාධාරණ විනිශ්චයක් නොවේ. බුද්ධ විනයේ ඇති විශිෂ්ටත්වය වන්නේ මේ දෙපාර්ශ්වයම එකවර පිළිගැනීමයි. පුද්ගලයාගේ වරද පුද්ගලයාටම අයත්ය. එහෙත් එම වරද නිසා ශාසනයේ නාමයට ඇතිවන හානිය සංඝයා නොසලකා හැරිය යුතු නැත.
එබැවින් “භික්ෂුවකගේ වරදකට සංඝ සමාජයම වග කිව යුතුද?” යන ප්‍රශ්නයට ධර්ම-විනයානුකූල පිළිතුර සරල “ඔව්” හෝ “නැත” යන්නක් නොවේ. එක් භික්ෂුවකගේ පෞද්ගලික ආපත්තිය ස්වයංක්‍රීයව සමස්ත සංඝයාගේ ආපත්තියක් නොවේ. ඔහු කළ වරදේ විනයාපරාධ වගකීම ඔහුටම අයත් ය. එහෙත් සංඝයාට සාමාජික භික්ෂුවකගේ විනය විරෝධී හැසිරීම නිවැරදි කිරීමේ, අවශ්‍ය අවස්ථාවල අවවාද කිරීමේ, ආපත්තිය නිසි පරිදි විසඳීමේ සහ සංඝයාගේ ශාසනික ගෞරවය ආරක්ෂා කිරීමේ සාමූහික හා ආයතනික වගකීමක් තිබේ.
එබැවින් ධර්ම-විනයානුකූලව වඩාත් නිවැරදි ප්‍රකාශය වන්නේ මෙයයි: භික්ෂුවකගේ විනය විරෝධී ක්‍රියාවක පෞද්ගලික ආපත්ති වගකීම එම භික්ෂුවටම අයත් වුවද, එම වරද දැන සිටින සංඝ සාමාජිකයන්ට එය නිවැරදි කිරීමටත්, අවශ්‍ය විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමටත් වගකීමක් ඇත. එම වරද නිසා සංඝයාගේ කීර්තිනාමයට හානි සිදුවිය හැකි නමුත්, එය සමස්ත සංඝයාගේම පෞද්ගලික විනයාපරාධයක් බවට පත් නොවේ. මේ අනුව, වරදකරු ආරක්ෂා කිරීමත්, වරද සමස්ත සංඝයා පිට පැවරීමත් දෙකම විනයානුකූල මධ්‍යම මාර්ගයෙන් බැහැර වූ කටයුතු බව කිව යුතුය. ඒ සම්බන්ධයෙන් බුදුන් වහන්සේගේ විනය පද්ධතිය මඟින් පෙන්වා දෙන්නේ වඩාත් ගැඹුරු ධර්ම මාර්ගයකි: එනම් “වරද හඳුනාගන්න; වරදකරුට වගකීම පැවරෙන්නට ඉඩ දෙන්න; අවශ්‍ය විනයානුකූල ක්‍රියාමාර්ග ගන්න; වරද නැවත සිදු නොවීමට පද්ධතිය සකස් කරන්න; එමෙන්ම සංඝයා කෙරෙහි ගිහි සමාජයේ ඇති විශ්වාසය ආරක්ෂා කරන්න” යන්න ය. පුද්ගලයාට යුක්තියත්, සංඝයාට පාරිශුද්ධියත්, ශාසනයට ස්ථාවරත්වයත් ලබා දෙන ධර්ම-විනයානුකූල ප්‍රවේශය එයයි.
කදුරුපොකුණේ සුමංගල හිමි