
අප්‍රිකානු මහද්වීපයේ නැගෙනහිර අන්තයේ පිහිටි ටැන්සානියාව ගැන මගේ සිතේ දිගු කලක සිට පැවතියේ කුතුහලයකි. එරටේ සංස්කෘතිය, විවිධ ජනජීවිතය, කඳුකර භූ දර්ශන සහ වන සතුන්ගේ ලෝකය සියැසින් දැකගැනීමේ ආශාවක් මට තිබිණි. ඒ, මා කුඩා කාලයේ කියැවූ පොතපතක තිබූ විස්තර නිසා විය හැකිය. අවසානයේදී ඒ ආශාව සැබෑ කරගනිමින් ටැන්සානියාවට පා තැබූ දිනය, මගේ ජීවිතයේ වෙනස්ම පරිච්ඡේදයක් ආරම්භ කළ දිනයක් විය.
ඩොඩෝමා ටැන්සානියාවේ පරිපාලන අගනුවර ය. ඩාර් එස් සලාම් රටේ විශාලතම නගරය මෙන්ම ප්‍රධාන වාණිජ හා වරාය මධ්‍යස්ථානයකි. එහෙත් මගේ ගමනේ අරමුණ වූයේ නගරවල වීදි, වෙළෙඳසැල් සහ ගොඩනැඟිලි අතර සිරවී සිටීම නොවේ. ටැන්සානියාවේ සැබෑ හදවත සොයා කඳුකරයට, ගම්මානවලට සහ තේ වගාබිම් අතරට යාමට මට අවශ්‍ය විය.

එහිදී මට හමුවූ ටැන්සානියාව භාෂා සහ සංස්කෘතික විවිධත්වයෙන් පිරුණු රටකි. කිස්වාහිලි හෙවත් ස්වාහිලි භාෂාව දෛනික ජීවිතයේ ප්‍රධාන භාෂාවක් වන අතර, ඉංග්‍රීසි භාෂාව ද අධ්‍යාපනය, ව්‍යාපාර සහ නිල කටයුතු සඳහා වැදගත් වේ. විවිධ ජනවාර්ගික කණ්ඩායම් එකිනෙකා සමඟ ජීවත් වන ආකාරය රටේ සමාජ රටාවේ විශේෂත්වයකි.
ඩාර් එස් සලාම්හිදී විවිධ පසුබිම්වලින් පැමිණි ජනතාව අතර ඉන්දියානු සම්භවයක් ඇති ප්‍රජාව ද දැකගත හැකි විය. ඊටත් වඩා හදවතට සමීප වූයේ දුර අප්‍රිකානු රටකදී ශ්‍රී ලාංකිකයන් කිහිපදෙනෙකු හමුවීමයි. කිසිදා දැක නොතිබුණද, “මචං” යන හෘදයාංගම ආමන්ත්‍රණය පෙරදැරිව මව් භාෂාවෙන් වචනයක් දෙකක් කතා කරන, තම රටේ රසය හා සංස්කෘතිය අමතක නොකළ මිනිසුන් හමුවීම විදේශයකදී ලැබෙන අපූරු තෑග්ගකි.
නගරයේ කලබලයෙන් ඈත් වී මම දකුණු උස්බිම් දෙසට ගමන් කළෙමි. න්ජොම්බෙ, ඉරින්ගා සහ ම්බෙයා ආශ්‍රිත ප්‍රදේශ මා ආකර්ෂණය කළේ ඒවායේ කඳුකර ස්වභාවය සහ සාපේක්ෂව සිසිල් දේශගුණය නිසා ය.

විශේෂයෙන් න්ජොම්බෙ උස්බිම්වල ඇතැම් ප්‍රදේශ මුහුදු මට්ටමේ සිට මීටර් 1,600–3,000 අතර උසකට නැඟී ඇති අතර, එහි උස්බිම් කලාපවල උෂ්ණත්වය ඇතැම් අවස්ථාවලදී සෙල්සියස් අංශක 15ට වඩා පහළ යා හැකිය. වියළි හා සීතල සමයේ රාත්‍රී සහ උදෑසන කාලය තවත් සීතල විය හැකිය. මෙය අප රටේ මධ්‍යම කඳුකරයට සමාන දේශගුණික තත්වයකි.
මීදුමෙන් වැසුණු කඳු, තෙතබරිත හරිත වගාබිම්, නිහඬ මංමාවත් සහ දුරින් ඇසෙන ගැමි ජීවිතයේ හඬ, මේ සියල්ල එකට එක්වූ විට න්ජොම්බෙ මට පෙනුණේ වියළි අප්‍රිකාවේ වෙනස්ම මුහුණුවරක් ලෙස ය.
එහි ජීවිතය නගරයක වේගවත් ජීවන රටාවට වඩා බෙහෙවින් සන්සුන් ය. කඳුකරය, කෘෂිකර්මාන්තය සහ මිනිසුන්ගේ දෛනික ජීවිතය එකිනෙකින් වෙන් කළ නොහැකි ලෙස බැඳී ඇත. තේ, කෝපි සහ අනෙකුත් වගාවන් එම ප්‍රදේශයේ ආර්ථිකයට වැදගත් ය. න්ජොම්බෙ කලාපය අදත් ටැන්සානියාවේ දකුණු උස්බිම් කෘෂිකාර්මික ප්‍රදේශ අතර ප්‍රමුඛ ස්ථානයක් ගනී.
මගේ ගමනේ අමතක නොවන අත්දැකීමක් වූයේ තේ වත්තක කාර්මික ශිල්පියකු ලෙස තාවකාලිකව සේවය කිරීමට ලැබීමයි. ඉන්දියානු ජාතික මිතුරෙකුගේ උපකාරය නිසා මට ඒ අවස්ථාව ලැබිණි. අපගේ නවාතැන් වූයේ සම්පූර්ණයෙන්ම පාහේ දැවයෙන් නිමවා තිබූ පැරණි විශාල ගොඩනැඟිල්ලකි. කලක් වතු පාලකයන්ගේ නිවෙසක් ලෙස භාවිත වූ බව කියැවුණු එම නිවසේ රාත්‍රිය ගත කිරීමෙන් මට දැනුණේ වර්තමානයේ සිට අතීතයකට පියමං කළාක් මෙනි.
උදෑසන මීදුම අතරින් වතු සේවකයන් වගාබිම් දෙසට යන දසුනත්, සවස වැඩ නිමවා ආපසු එන මිනිසුන්ගේ සිනහවත්, ගම්මාන අතර හුවමාරු වන ආරංචිත් මගේ සංචාරයට පොතක පිටු මෙන් එක් විය.
එම කඳුකර ජනජීවිතයේදී කාන්තාවන්ගේ භූමිකාව විශේෂයෙන්ම මගේ අවධානයට ලක් විය. මා තනිකඩ දිවියක් ගත කිරීම ද ඊට හේතුවක් වන්නට ඇත.
වගාබිම්වල වැඩ කිරීමේ සිට නිවෙස් පවත්වාගෙන යාම, දරුවන්ගේ අධ්‍යාපනය, වැඩිහිටියන් රැකබලා ගැනීම සහ ප්‍රජා කටයුතු දක්වා එම කතුන්ගේ දායකත්වය විශාල ය. ඔවුන්ගේ දෛනික ජීවිතයේ තිබූ සරල බවත්, වැඩකටයුතුවලදී පෙනුණු ශක්තියත් මට විශේෂයෙන් මතක ය. දීප්තිමත් වර්ණ හා විවිධ රටා සහිත කන්ගා වැනි සාම්ප්‍රදායික ඇඳුම්, හිස් ආවරණ සහ වර්ණවත් පබළු ආභරණ ඔවුන්ගේ පෙනුමට අපූරු ජීවයක් එක් කරයි. වැඩ කරන විට එම ඇඳුම්වල ප්‍රායෝගිකත්වය ද ඔවුන් අමතක කරන්නේ නැත. උදෑසන නිවෙස ඉදිරිපිට අතුගෑම, ඇඳුම් සහ භාජන පිරිසිදුව තබා ගැනීම, දරුවන් පිළිවෙළට පාසලට යැවීම වැනි දෛනික කටයුතු තුළ පිරිසිදුකම පිළිබඳ ඔවුන්ගේ අවධානය පෙනෙයි.
එහෙත් ඔවුන්ගේ සැබෑ ශක්තිය පෙනෙන්නේ එකමුතුව තුළ ය. වගා කටයුතුවලදී එකිනෙකාට උදව් කිරීම, වෙළෙඳපොළේදී කතාබහ කිරීම, පල්ලියෙන් පසු රැස්වීම්වලදී ගැමි ආරංචි බෙදාගැනීම, විවාහ හා උපත් වැනි අවස්ථාවල එකට එක්වීම ආදී මේ සියල්ලෙන් පෙනෙන්නේ ප්‍රජා ජීවිතයේ කාන්තාවන් සතු වැදගත් ස්ථානයයි.
ඒ අතර මගේ සිත් ගත් කතුන් කිහිපදෙනකු ද වූ මුත්, අප අතර පැවති සංස්කෘතික විෂමතාව මත මම ඔවුන් හමුවේ නිහඬ පිළිවෙතක් අනුගමනය කළෙමි. නමුත් මා එසේ වුවද, එම සීමාව ඉක්මවා බොහෝ දුර යන විජාතික මිතුරන් කිහිපදෙනෙක් ද එහි වූහ.
ටැන්සානියාවේ කඳුකරය ගැන කතා කරන විට සින්කෝනා ගස ද ඉතිහාසයේ වැදගත් කොටසකි. යටත් විජිත සමයේ මැලේරියාවට එරෙහිව භාවිත වූ ක්විනීන් ලබාගැනීම සඳහා සින්කෝනා වගාව නැගෙනහිර අප්‍රිකාවේ හඳුන්වා දී වර්ධනය කරන ලදී. පසුකාලීනව ටැන්සානියාවේ එහි නිෂ්පාදනය ව්‍යාප්ත වූ බව ඉතිහාස අධ්‍යයන පෙන්වා දෙයි.
අද න්ජොම්බෙ දකුණු උස්බිම් ප්‍රදේශයේ තේ වගාව වඩාත් පැහැදිලි ආර්ථික ක්‍රියාකාරකමක් වන අතර, උස්බිම්, සිසිල් රාත්‍රී සහ මීදුම් සහිත උදෑසන තේ වගාවට හිතකර පරිසරයක් සපයයි.
එහෙත් සින්කෝනා වගාව වටා ගොඩනැඟුණු පැරණි කතා තවමත් ඇතැම් ප්‍රදේශවල ජන මතකයේ ජීවත් වේ. ඒ අතරින් වඩාත් රසවත් කතාවක් වන්නේ “අද්භූත සුදු නෝනා” පිළිබඳ ජනප්‍රවාදයයි.
“සුදු නෝනා” පිළිබඳව ප්‍රදේශයේ පවතින ජනප්‍රවාදයකට අනුව, විසිවන සියවසේ මුල් භාගයේ උස්බාරා කඳුකර ප්‍රදේශයේ සින්කෝනා වත්තක සේවය කළ ඉංග්‍රීසි ජාතික කාන්තාවක පිළිබඳ මතකයක් ප්‍රදේශවාසීන් අතර පැවත එයි. ජනප්‍රවාදයේ සඳහන් වන පරිදි, ඇය මැලේරියාව ඇතුළු රෝගවලින් පීඩා විඳි වතු කම්කරුවන්ට දිවා රෑ නොබලා උපකාර කළ අතර, දරු ප්‍රසූති සඳහා සහාය වීම, රෝගී දරුවන්ට ප්‍රතිකාර කිරීම සහ අසරණ වූවන් රැකබලා ගැනීම වැනි සේවාවන්හිද නිරත වූවාය.
පසුව ඇති වූ මැලේරියා වසංගතයකදී ඇයද රෝගයට ගොදුරු වී මියගිය බව ජනප්‍රවාදයේ කියැවේ. එතැන් සිට ඇය පිළිබඳ මතකය “සුදු නෝනා” නමින් ප්‍රදේශවාසීන් අතර පැවති කතාවක් බවට පත්වූ බව සඳහන් වේ. ඇතැම් වාචික සම්ප්‍රදායන්හි ඇය “මාග්‍රට් මිස්” ලෙසද හඳුන්වන බව කියැවුණද, එම නම සහ ඉහත සඳහන් තොරතුරු සනාථ කරන ලිඛිත ඓතිහාසික මූලාශ්‍රයක් මේ වන විට තහවුරු කරගත නොහැක.

අදටත් ඇතැම් වැඩිහිටියන් අතර පැවසෙන කතාව නම්, රාත්‍රියක පැරණි රෝහලේ නටබුන් අසලින් සුදු පැහැති ආලෝකයක් පෙනෙන බවත්, අතේ ලාම්පුවක් ඇති සුදු ඇඳුමින් සැරසුණු කාන්තාවකගේ රුවක් වතු පාර දිගේ යන බවත් ය.
තවත් කතාවක කියැවෙන්නේ රාත්‍රියේ රෝගී වී වැටුණු සේවකයකු අසල උදෑසන නැවුම් ජලය හෝ කොළ වර්ග කිහිපයක් තිබූ බව ය. එය සුදු නෝනා තාමත් ජීවත් වන බවට සාක්ෂියක් යැයි වැඩිහිටියෝ පවසති.
මේවා සත්‍ය සිදුවීම් හෝ තහවුරු කළ ඉතිහාස වාර්තා නොව, පරම්පරාවෙන් පරම්පරාවට ගලා ආ ජන විශ්වාස හා මතක කතා ලෙස සැලකීම වඩාත් සුදුසු ය. එහෙත් එවැනි කතාවකට පවා සමාජයක මතකය, කෘතවේදීත්වය සහ අතීතයේ වේදනාව ගබඩා වී තිබිය හැකිය. මා විශ්වාස කරන අන්දමට, “සුදු නෝනා”ගේ කතාව හුදෙක් හොල්මන් කතාවක් නොවේ. එය යටත් විජිත සමයේ දුෂ්කර වතු ජීවිතය, රෝගාබාධ, වෛද්‍ය සේවය සහ මිනිස් සම්බන්ධතා පිළිබඳ කෘතවේදීත්වය මුල් කොට ගත් ජන මතකයකි.
ටැන්සානියානු කඳුකරයේ මිනිසුන්ගේ ජීවිතය සොබාදහම සමඟ සමීප වුවත්, ඒ සොබාදහම සෑම විටම මෘදු නොවේ. අප්‍රිකානු වන අලි මිනිස් වාසස්ථාන හා වගාබිම් වෙත පැමිණීම ටැන්සානියාවේ ඇතැම් ප්‍රදේශවල මිනිස්-අලි ගැටුම් ඇති කරන ප්‍රධාන කරුණකි. රාත්‍රියේ නිහඬව සිටින ගම්මානයකට හදිසියේ අලි රංචුවක් පැමිණීම ගොවීන්ට බියජනක අත්දැකීමකි.
වගාබිම් හා නිවාස ආරක්ෂා කර ගැනීමට ප්‍රදේශවාසීන් විවිධ සාම්ප්‍රදායික ක්‍රම භාවිත කරන බව කියැවේ. බෙර හඬ, විදුලි පහන් හෝ ගිනි පන්දම් වැනි ක්‍රමවලින් අලි ඈත් කිරීමට උත්සාහ කරන අවස්ථා ද ඇත.
එවැනි මොහොතක කාන්තාවන්ගේ භූමිකාව ද නොසලකා හැරිය නොහැකිය. දරුවන් සහ පවුලේ සාමාජිකයන් ආරක්ෂිත ස්ථානයකට යොමු කිරීමේ සිට වගා හානි පිළිබඳව සොයා බැලීම දක්වා ඔවුන්ට ද විශාල වගකීමක් පැවරේ.
අලි රංචුවක් අඳුරු රාත්‍රියක වගාබිමක් හරහා ගමන් කරන විට ඇසෙන අතු කැඩෙන හඬ, ඈතින් ඇසෙන මිනිසුන්ගේ හඬ සහ මීදුම අතරින් පෙනෙන විශාල සෙවණැලි ආදිය අප්‍රිකානු රාත්‍රියක අමතක නොවන රූපයකි.
තේ වත්තේ සේවය කළ කෙටි කාලය, පැරණි දැව නිවෙසේ ගත කළ රාත්‍රී, කඳුකරයේ සීතල උදෑසන, ගම්මානවල මිනිසුන් සමඟ කළ කතාබහ යන මේ සියල්ල මට සංචාරක මතකවලට වඩා වැඩි දෙයක් ලබා දී තිබේ.

විදේශිකයකු ලෙස එරට රැකියාවක නිරත වීමේදී සපුරාලිය යුතු නීතිමය අවශ්‍යතා ද අමතක කළ නොහැකිය. සංචාරකයකු ලෙස රටකට ඇතුළු වීමත්, එරට රැකියාවක නිරත වීමත් එකම දෙයක් නොවේ. ටැන්සානියානු ආගමන දෙපාර්තමේන්තුවේ වර්තමාන තොරතුරු අනුව, නිශ්චිත සේවායෝජකයකු යටතේ සුදුසුකම් සහිත විදේශිකයන් සඳහා Residence Permit Class C යටතේ විධිවිධාන පවතින අතර, එවැනි අවස්ථාවල වැඩ බලපත්‍රයක් ද (Work Permit) අවශ්‍ය වේ.
ඒ නිසා මෙවැනි අත්දැකීමක් නැවත සොයන අයෙකු නීතිමය අවශ්‍යතා නිසි ලෙස පරීක්ෂා කර, අදාළ බලපත්‍ර ලබාගෙන පමණක් රැකියා කටයුතුවල නිරත වීම අත්‍යවශ්‍ය ය.
ටැන්සානියාවෙන් ආපසු පැමිණි පසු මගේ මතකයේ තදින්ම රැඳුණේ විශාල නගර නොවේ. මීදුමෙන් වැසුණු න්ජොම්බෙ කඳු ය, හරිත වගාබිම් ය, උදෑසන වැඩට යන මිනිසුන් ය. වර්ණවත් ඇඳුම්වලින් සැරසී අප හා කෝල ලෙසින් සිනාසෙන කාන්තාවන් ය, දුරින් ඇසෙන ගැමි ගී හඬ ය. රාත්‍රියේ නිහඬතාවය බිඳ දමමින් ගමන් කරන අප්‍රිකානු වන අලි රංචුවක අඳුරු සෙවණැල්ල ය. ඒ අතරින්, පැරණි වත්තක ජනේලයකින් පෙනෙනවා යැයි කියන “සුදු නෝනා”ගේ ලාම්පු එළිය ද මගේ මතකයට එක්වී ඇත.
ඇය සැබෑවටම එහි රාත්‍රියේ ඇවිදිනවාදැයි මම නොදනිමි. එහෙත් ඇය පිළිබඳ කතාව තවමත් ජීවත් වන්නේ ඇයිදැයි මට තේරේ. මිනිස්සු තමන්ට කළ යහපත අමතක නොකරති.
ඒ නිසා මගේ කෙටි කාලීන ටැන්සානියානු ජීවිතය සංචාරයක් පමණක් නොවේ. එය මිනිසුන්, කඳු, වගාබිම්, වන අලි, සංස්කෘතීන් සහ මතකයන් අතරින් ගිය අසිරිමත් අත්දැකීමකි.
“ටැන්සානියානු සොඳුරු ළඳුන් වන අලින් හා සුදු නෝනා සමඟ” යන සන්නාමය යටතේ මගේ මතකයේ රැඳී ඇත්තේ, අවසානයේදී, අප්‍රිකාවේ එක් රටක් ගැන කතාවක් නොව, මිනිසුන් සොබාදහම සමඟ ජීවත් වන ආකාරය පිළිබඳ කතාවකි.
මනෝජ් එන්. ප්‍රනාන්දු