ජනවාරි මස ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන් ගණන 1,450,000 (ලක්ෂ 14.5) සීමාව ඉක්මවා තිබේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 18 දින දක්වා මෙරටට පැමිණි සංචාරකයන් ගණන 1,468,980ක් ලෙස වාර්තා වී ඇති බවයි. මේ අතර අගෝස්තු 01 වැනිදා සිට 18 වැනිදා දක්වා පමණක් සංචාරකයන් 125,562ක් පැමිණ ඇති බවද එම අධිකාරිය පවසයි.
අගෝස්තු මාසයේදී මේ දක්වා පැමිණ ඇති සංචාරකයන් අතුරින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංචාරකයන් ගණන 27,884කි.
දෙවැනියට වැඩිම සංචාරකයන් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙන් වන අතර එම අගය 13,980ක් ලෙස සටහන් වේ. තෙවැනියට වැඩිම සංචාරකයන් පිරිසක් ප්රංසයෙන් පැමිණ ඇති අතර එම සංචාරකයන් ගණන 8,776කි. මේ අතර වසරේ ගතවූ කාලය තුළ ද වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම අගය 366,114කි. මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයන් 144,381ක් සහ චීනයෙන් සංචාරකයන් 97,073ක්ද මෙරටට පැමිණ ඇත.
එමෙන්ම වසරේ ගතවූ කාලය තුළ වැඩිම සංචාරකයන් ප්රමාණයක් පැමිණ ඇත්තේ පෙබරවාරි මාසයේදී වන අතර, එම අගය 279,328ක් ලෙස සටහන් වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.