
ඔලිම්පික් පදක්කම් ඇතුළු බොහෝ ජයග්‍රහණ දිනාගත් ධාවන ශූරයකු වන ජැමෙයිකානු ජාතික උසේන් බෝල්ට් පිහිටු වූ ලෝක වාර්තාවක් ඉක්මවා යන ධාවනයක නිරත වූ රොබෝ කෙනෙකු ගැන පසුගිය දිනවල මාධ්‍ය හරහා වාර්තා වුණා. මේ අපූරු ධාවකයා විසින් බිඳ දමනු ලැබ ඇත්තේ බෝල්ට් ගේ මීටර් 100 ලෝක වාර්තාව යි.
මේ රොබෝගේ නම Lightening. සුහුරු දුරකතන සහ විද්‍යුත් මෙවලම් නිපදවන සුප්‍රකට චීන සමාගමක් වන Honor සමාගම යි මේ රොබෝ නිශ්පාදනය කර තිබෙන්නේ. මේ කාලයේ විවිධ ස්වරූපයේ රොබෝලා නිශ්පාදනය වන අතර Lightening අයත් වන්නේ මිනිස් රූපී රොබෝ (humanoids) යන වර්ගයට යි. ඔවුන්ගේ හැඩරුව මිනිසුන්ගේ හැඩරුවට සමාන යි.
උසේන් බෝල්ට් ඉහත කී මීටර් 100 ලෝක වාර්තාව පිහිටුවූයේ 2009 වසරේ ජර්මනියේ බර්ලින් නුවර පැවති ලෝක මළල ක්‍රීඩා තරගාවලියේ දී යි. මෙහි දී ඔහු තරගය අවසන් කළේ තත්පර 9.58 කින්. නමුත් Lightening තතත්පර 9.32 කින් තරගය අවසන් කර තිබෙනවා. මේ අනුව Lightening බෝල්ට්ට වඩා තත්පර 0.26 ක් ඉදිරියෙන් සිටිනවා.
Lightening මෙම ධාවනයේ නිරත වූයේ පසුගිය 22 වැනි දින යි. මෙවැනි මිනිස් රූපී රොබෝලා සහභාගි වන ජාත්‍යන්තර තරගාවලියක් චීනයේ බීජිං නුවර පැවැත්වුණු අතර එහි පුහුණු ධාවන තරගයකදී යි Lightening මෙම දස්කම දක්වා තිබුණේ.
ඉහත කී රොබෝ තරගාවලිය වාර්ෂිකව පවත්වනු ලබන්නක්. එය පළමුවරට පවත්වන ලද්දේ 2025 වසරේ යි. එවරත් තරගාවලිය පැවැත්වුණේ චීනයේ බීජිං නුවරම යි. රොබෝලා වැනි තාක්ෂණික මෙවලම් නිපදවන සමාගම් ද, මෙබඳු තාක්ෂණයන් ගැන පර්යේෂණ කරන විශ්වවිද්‍යාල ද මෙම තරගාවලිය සඳහා සිය නිශ්පාදන ඉදිරිපත් කරනවා. පසුගිය වසරේ මෙම තරගාවලියට ඉදිරිපත් කෙරුණු බොහෝ රොබෝලාට හරියට තරගයක් අවසන් කිරීමටවත් හැකියාවක් තිබුණේ නැහැ. නමුත් මේ වසරේ ඔවුන් විශාල ප්‍රගතියක් ලබා ඇති අයුරු දැක ගන්නට ලැබෙනවා.
මේ Lightening මෙවැනි දස්කමක් දැක් වූ දෙවැනි වතාව යි. මෙයට පෙර අර්ධ මැරතන් ධාවන තරගයකදී ද මෙවැනි වාර්තාවක් පිහිටුවා තිබුණා. අර්ධ මැරතන් තරගයක් යනු කි.මී. 21 ක ධාවන තරගයක්. ( සම්පූර්ණ මැරතන් තරගයක දුර කි.මී. 42 ක්.)
පසුගිය අප්‍රේල් මාසයේ රොබෝලා සඳහා පැවැති අර්ධ මැරතන් ධාවන තරගයකදී Lightening විනාඩි 50 කුත් තත්පර 26 කින් එම තරගය අවසන් කිරීමට සමත් වූණා. මෙම ඉසව්වෙන් ලෝක වාර්තාව පිහිටුවා ඇති උගැන්ඩා ජාතික ජේකබ් කිප්ලිමෝ එම වාර්තාව පිහිටුවීමේ දී ඔහුට තරගය අවසන් කිරීමට විනාඩි 57 කුත් තත්පර 20 ක් ගත වී තිබුණා. කිප්ලිමෝ එම වාර්තාව පිහිටුවූයේ පසුගිය මාර්තු මාසයේ පෘතුගාලයේ ලිස්බන් නුවර පැවති අර්ධ මැරතන් තරගයක දී යි. Lightening එම වාර්තාව පිහිටුවා තිබුණේ බීජිං නුවර පැවති ඊ ටවුන් ( E Town) අර්ධ මැරතන් ධාවන තරගයේ දී යි. ඒ පසුගිය අප්‍රේල් මාසයේ.
අර්ධ මැරතන් කාන්තා ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන ඉතියෝපියානු ජාතික ලෙතෙසෙන්බෙට් ගිඩේ එම වාර්තාව පිහිටුවීමේ දී ඇගේ ධාවනය සඳහා පැයකුත් විනාඩි 2 ක් සහ තත්පර 52 ක් ගත වී තිබුණා.
Lightening කෙටි දුර ධාවනයට මෙන්ම දිගු දුර ධාවනයට ද එක සේ දස්කම් දැක්වීම විශේෂත්වයක් වන අතර මෙය සාමාන්‍යයෙන් මිනිස් ක්‍රීඩකයන්ගෙන් දක්නට නොලැබෙන්නක්.
Lightening ඉහත කී මීටර් 100 ධාවනයේ නිරත වූ ලෝක රොබෝ තරගාවලිය ද අපූරු තරගාවලියක් බව සඳහන් කළ හැකියි. එය මිනිස් රූපී රොබෝලාගේ තාක්ෂණික වර්ධනයට ලොකු තල්ලුවක් ලබා දෙන්නක්. ධාවන තරගවලට අමතරව තවත් බොහෝ තරග මෙහි දී පවත්වනු ලබනවා. රොබෝලාගේ සමබරතාව, වේගය, බුද්ධි මට්ටම, අවයව අතර සම්බන්ධීකරණය වැනි ගුණාංග පිලිබඳව මැන බැලීම මෙම තරගවල ප්‍රධාන අරමුණක්.
පාපන්දු, දුර පැනීම, උස පැනීම, නර්ථන, සටන් කලා (Martial Arts), බොක්සිං වැනි තරග ද මීට ඇතුළත්. ඊට අමතරව භාණ්ඩ ඔසවාගෙන යාම, බඩු පිලිවෙලට තැබීම වැනි කටයුතු සඳහා ඇති හැකියාව මැන බලන තරගත් තිබෙනවා. බාධක දිවීමේ තරග ද පැවැත්වෙන අතර පඩි නැගීම, බාධක මගහැර යාම වැනි කාර්යයන් සඳහා ඇති හැකියාව මෙහි දී මැන බැලෙනවා.
මිනිස්රූපී රොබෝලා මේ වනවිට තාක්ෂණික වශයෙන් වේගයෙන් දියුණු වෙමින් තිබෙන බව රහසක් නොවෙයි. අනාගතයේ දී රොබෝ ප්‍රේමවන්තයන්, ප්‍රේමවන්තියන් පවා ඇසුරු කිරීමට මිනිසුන්ට හැකි වනු ඇති බවට අනාවැකි පළ වෙනවා.
දැනටත් විවිධාකාර කටයුතු සඳහා මෙවැනි මිනිස් රූපී රොබෝලා යොදා ගැනෙනවා. කර්මාන්ත ශාලා ආදියෙහි විවිධ කටයුතු ඉටු කර ගැනීම සඳහා මෙන්ම නිවෙස්වල කටයුතු සඳහා ද මෙවැනි රොබෝලා යොදා ගැනීමට පටන්ගෙන තිබෙනවා. එසේ වුවත් මෙම රොබෝලා බොහොමයක් තවමත් සිටින්නේ තාක්ෂණික වශයෙන් මුල් අදියරවල යි.
රෙදි නැවීම, කාමර පිරිසිදු කිරීම, පැලවලට වතුර දැමීම, වැසිකිලි පිරිසිදු කිරීම, කසල ඉවත් කිරීම වැනි ගෘහ කාර්යයන් සඳහා උදව් වන මිනිස් රූපී රොබෝලා මේ වනවිට නිශ්පාදනය කර ඇති අතර මෙවැනි “ගෘහ සේවක රොබෝලා” කුලියට දීමේ ව්‍යාපාර පවා බිහිවෙමින් ඇති බව සඳහන්.

රෝහල් වැනි තැන්වල ද මෙවැනි රොබෝලාගේ සේවය යොදා ගැනීමට පටන්ගෙන තිබෙනවා. ඖෂධ එහා මෙහා ගෙන යාම, රෝගීන්ට උදව් කිරීම වැනි කටයුතුවල දී රොබෝලා යොදා ගන්නා රෝහල් ඇති බව වාර්තා වෙනවා.
එමෙන්ම ජපානය වැනි රටවල වයෝවෘද්ධ පුද්ගලයන් රැකබලා ගන්නා සාත්තු නිවාස ආදියේ ද මෙවැනි මිනිස් රූපී රොබෝලා යොදා ගැනීම සම්බන්ධ නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. ජපානය මහළු ජනගහණය වැඩි වීම නිසා බොහෝ ගැටලුවලට මුහුණ දී සිටින රටක් බව ද රහසක් නොවෙයි. මහලු පුද්ගලයන් එහා මෙහා හැරවීම, ඩයපර මාරු කිරීම, ඇඳුම් ඇන්දවීම , ආහාර පිසීම වැනි කටයුතු කළ හැකි මිනිස් රූපී රොබෝලා මේ වනවිට නිපදවා ඇති බව සඳහන්.
නිහාල් පීරිස්.