අසභ්‍ය ඡායාරූප පළ කරන FB Group ගැන පැමිණිලි කරන්න!

ළමා හා කාන්තා ඡායාරූප අසභ්‍ය ලෙස පළ කරන සමාජ මාධ්‍ය පිළිබඳව පැමිණිලි කිරීමට පොලීසියෙන් ඊමේල් ලිපිනයක් හඳුන්වා දී තිබේ.ඒ Facebook සමූහ මගින් අසභ්‍ය ලෙස පළ කරන ළමා හා කාන්තා ඡායාරූප හා කෘතීම බුද්ධියෙන් සකසන ලද වීඩියෝ දර්ශන ප්‍රචාරණය ඉහළයාම හේතුවෙන්.

ඒ අනුව, පුද්ගලයින් අපහසුතාවයට ලක්වන ආකාරයේ එවැනි ඡායාරූප හා වීඩියෝ දර්ශන පිළිබඳව පැමිණිලි dir.cid@police.gov.lk යන Email ලිපිනයට දැනුම් දිය හැකියි.

පොලීසිය පැවසුවේ, පොලිස් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය එවැනි ෆේස්බුක් සමූහ හඳුනාගෙන අක්‍රිය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව ද පොලීසිය සදහන් කරයි.

මේ අතර අසභ්‍ය ලෙස ළමුන්ගේ හා කාන්තාවන්ගේ ඡායාරූප පළකරමින් Facebook සමූහ පවත්වාගෙන ගිය සැකකරුවෙකු බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.ඒ පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය විසින්.

පොලීසිය සඳහන් කළේ 21 හැවිරිදි තරුණයෙකු විසින් ළමුන්ගේ හා කාන්තාවන්ගේ ඡායාරූප අසභ්‍ය ආකාරයෙන් පළකරමින් ෆේස්බුක් සමුහ පවත්වාගෙන ගොස් ඇති බවයි.සැකකරුගේ ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන තිබේ.පොලීසිය සඳහන් කළේ, එවැනි පුද්ගලයින් පිළිබඳ තොරතුරු ඇත්නම් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ 011 2381058 යන දුරකථන අංකයට දැණුම් දෙන ලෙසයි.

කාලීන පුවත්