නේපාලය දේශගුණික විපර්යාසයට වගකිව යුතු ප්‍රමාණය ඉතා අල්ප වුවද බලපෑමෙන් දැඩි ලෙස පීඩා විඳින රටක් බව විදේශ අමාත්‍යවරයා කියයි.ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් හිමාල පර්වත වැටිය ඇතුළු උස් කඳුකර පරිසර පද්ධති මුහුණ දෙමින් සිටින දැඩි අවදානම පිළිබඳව නේපාල විදේශ අමාත්‍ය ශිෂීර් ඛානල් සහ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රධානී සයිමන් ස්ටීල් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.චීන දේශසීමාව ආසන්නයේ ඇති වූ මහා ගංවතුර හා මඩ නායයෑම් හේතුවෙන් සිය ගණනක් මියගොස් දහස් ගණනක් අතුරුදන්ව සිටින පසුබිමක ඉකුත් 29 වැනිදා ඔවුන් මෙම අදහස් පළ කර තිබේ. නවතම වාර්තා අනුව නේපාලය සහ ටිබෙට් ප්‍රදේශය ආශ්‍රිතව සිදුවූ මෙම ව්‍යසනයෙන් තහවුරු වූ මරණ සංඛ්‍යාව 750 දක්වා ඉහළ ගොස් ඇති අතර අතුරුදන්ව සිටින සංඛ්‍යාව 3,044ක් පමණ වේ.එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමු සම්මුතියේ (UNFCCC) විධායක ලේකම් සයිමන් ස්ටීල් පෙන්වා දී ඇත්තේ මිනිසා විසින් ගල්අඟුරු, තෙල් සහ ගෑස් ඇතුළු පොසිල ඉන්ධන දැවැන්ත ලෙස දහනය කිරීමෙන් ඇතිවන ගෝලීය උණුසුම මෙවැනි ආපදා වඩාත් සිදුවීමට ඉඩ ඇති, නිතර ඇතිවන සහ වඩාත් දරුණු තත්ත්වයන් බවට පත් කරමින් සිටින බවයි. ස්ටීල් 2022 සිට UNFCCC විධායක ලේකම්වරයා ලෙස කටයුතු කරන අතර 2025 දී ඔහු දෙවන වසර තුනක ධුර කාලයකට නැවත පත් කර තිබේ.මෙවර ආපදාව සම්බන්ධයෙන් එක්සත් ජනපද භූ විද්‍යාත්මක සමීක්ෂණ ආයතනය (USGS) සඳහන් කර ඇත්තේ හිමාලයානු උස් ප්‍රදේශයක සිදුවූ ග්ලැසියර කඩාවැටීමක් හේතුවෙන් දැවැන්ත ජලය, අයිස් සහ සුන්බුන් පහළට ගලා යාමෙන් මෙම මහා ජලගැලීම හටගෙන ඇති බවය. එමඟින් ගංගා නිම්න ඔස්සේ පිහිටි ගම්මාන, මාර්ග, පාලම් සහ විදුලිබල ව්‍යාපෘති රැසකට දැඩි හානි සිදුව තිබේ.කෙසේ වෙතත් විද්‍යාඥයන් අවධාරණය කරන්නේ මෙම එක් සිදුවීමේ ක්ෂණික හේතුව දේශගුණික විපර්යාසය බව නිශ්චිතව තහවුරු කිරීමට තවදුරටත් විද්‍යාත්මක විමර්ශන අවශ්‍ය බවයි. එහෙත් ගෝලීය උණුසුම ඉහළ යාමත් සමඟ ග්ලැසියර පසුබැසීම, හිම හා අයිස් ස්ථර දුර්වල වීම සහ කඳු බෑවුම් අස්ථාවර වීම හේතුවෙන් මෙවැනි ආපදා ඇතිවීමේ අවදානම ඉහළ යන බව විද්‍යාඥයන් පෙන්වා දෙති.