ඉරාන යුද්ධය ඉවර නොවන්නේ ඇයි?


ලංකාවේ මේ වනවිට බඩු මිල තරමක් ඉහළ යමින් ඇති බව රහසක් නොවේ. සාමාන්‍ය ජනතාව ජීවත් වන්නේ අපහසුතා රැසක් දරා ගනිමිනි. මේ තත්වයට දායක වන ප්‍රධාන සාධකයක් වන්නේ ඉරාන යුද්ධය යි. මැද පෙරදිග ඇති වී තිබෙන උණුසුම් තත්වය  නිසා ලෝක වෙළෙඳපොලේ තෙල් මිල ඉහළ යාම ලෝකයේ  බොහෝ රටවල ආර්ථිකයන්ට, ජනතාවගේ ජීවන වියදමට දැඩි බලපෑමක් එල්ල කර ඇති බව මේ වනවිට කව්රුත් දන්නා කාරණයකි.

මේ තත්වය තුළ මේ යුද්ධය ඉවර වන්නේ කවදාද යන්න බොහෝ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටින  කාරණයක් වී තිබේ. යුද්ධය ආරම්භ වී මේ වනවිට මාස හයකට ආසන්න කාලයක් ගතවී  ඇත. ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග මේ යුද්ධය ආරම්භ වූයේ පෙබරවාරි 28 වැනි දින යි.

නමුත් එය අවසන් වීම කෙසේ වෙතත් මේ වනවිට දැකිය හැක්කේ යුද ගැටුම් තව තවත් දරුණු අතට හැරෙමින් ඇති තත්වයකි.

මෙයට ටික කලෙකට පෙර බොර තෙල් මිල  යම් දුරකට ස්ථාවරව  තිබුණත් මෙම සටහන ලියන අවස්ථාව වනවිට එය නැවතත් ඉහළ යාමට පටන් ගෙන තිබෙනු දැකිය හැකි වේ. ජුලි මාසයෙන් පසු පළමු වතාවට ලෝක වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල පසුගිය දා ඇමරිකානු ඩොලර් 100 ඉක්මවා ගියේය. ඊයේ (12) එහි මිල සටහන් වූයේ ඇ. ඩොලර් 104 ක් ලෙසිනි. මිල තව දුරටත් ඉහළ යා හැකි බවට ද අනාවැකි පළ වී තිබිණි.

යුද්ධයට සම්බන්ධ පාර්ශ්ව අතර නැවතත් ගැටුම් දරුණු ලෙස උත්සන්න වීම තෙල් මිල යළිත් ඉහළ යාමට හේතු වී ඇත. ඉරානය ඇමරිකානු යුද නැවකට පහර දීමක් සහ ඇමරිකාව ඉරාන තෙල් නැව් පහකට ප්‍රහාර එල්ල කිරීමක් පසුගිය දිනවල විශාල අවධානයක් දිනාගත් සිදුවීම් විය. ඉන්පසු ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ වූ තවත් නැව් 10 කට ද, ජෝර්දානයේ ඇමරිකානු හමුදා කඳවුරකට ද පහර එල්ල කළේය. එමෙන්ම ඉරානයේ සහය ලබන හූති සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයකින් සෞදි අරාබියේ තෙල් සංකීර්ණයක් ගිනිගෙන ඊට  හානි සිදු වී තිබිණි.

සෞදි අරාබියෙන් වෙළෙඳපොලට එන තෙල් සැපයුම් තව දුරටත් සීමා වී ඇති බව වාර්තා වේ. දිනකට තෙල් බැරල් මිලියන 4-5 අතර ප්‍රමාණයක් රැගෙන යන සෞදි අරාබි තෙල් නල මාර්ගයක් වසා දමා ඇති බවක් ද පසුගිය දිනවල සඳහන් විය.

මේ අතර ලෝකයේ තෙල් ප්‍රවාහන කටයුතුවල දී ඉතා වැදගත් තවත් නැව්  ගමන් මාර්ගයක් වන රතු මුහුද කලාපයේ ද නැව් ගමනාගමනයට බාධා එල්ල වී ඇත. බොර තෙල් මිල ඉහළ යමින් ඇත්තේ මෙම පසුබිම තුළ යි.

හෝමුස් සමුද්‍ර සන්ධිය
හෝමුස් සමුද්‍ර සන්ධිය

මේ තත්වය හමුවේ ඉරාන යුද්ධයේ අවසානයක් නුදුරු කාලයේ බලාපොරොත්තු වීමට නොහැකි වේවි ද? මෙය  තවමත් නිශ්චිත පිලිතුරක් දීමට අපහසු ප්‍රශ්නයකි.
යුද්ධය ඉක්මනින් අවසන් වනු ඇතැයි යන අපේක්ෂාවක් පසුගිය ජුනි මාසයේ බොහෝ පාර්ශ්ව තුළ ඇති විය. එයට හේතු වූයේ එම මාසයේ ඇමරිකාව සහ ඉරානය අතර අවබෝධතා ගිවිසුමක් ඇති වීම යි. සටන් නතර කිරීම, හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම, ඇමරිකාව ඉරානයට එරෙහිව පනවා ඇති නාවුක අවහිරය ඉවත් කිරීම ආදී ක්ෂණික පියවර  කිහිපයක් මෙම අවබෝධතා ගිවිසුමට ඇතුළත් වූ බව සඳහන් විය.

එම ගිවිසුම අත්සන් කෙරුණේ දින 60 ක කාලයක් සඳහා යි. නමුත් අපේක්ෂා කළ ආකාරයෙන් එය   ක්‍රියාත්මක වූයේ නැත. පාර්ශ්ව අතර තිබූ අවිශ්වාසය වැනි කාරණා නිසා ගිවිසුමේ කොන්දේසි ඉටු කිරීම සිතූ තරම් පහසු නොවූ බව පෙනිණි. අවසානයේ ගිවිසුම බිඳ වැටුණු අතර නැවත ගැටුම් උත්සන්න වීම ආරම්භ විය.

මේ වනවිට යුද්ධයේ කේන්ද්‍රය වී ඇත්තේ ප්‍රධාන වශයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය යි. නමුත් මෙම යුද ගැටුම  ආරම්භ වූයේ  ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන කේන්ද්‍ර කරගෙන බව රහසක් නොවේ. ඉරානය ඉක්මනින්ම න්‍යෂ්ටික අවි අත්පත් කරගනු ඇති බවක් ඇමරිකාව සහ ඊශ්‍රායලය ප්‍රකාශ කළ  අතර ප්‍රහාර එල්ල කළේ එම තත්වය නතර කර ගැනීම සඳහා  බවක් පැවසිණි.  ප්‍රහාරවල තවත් අරමුණක් වූයේ ඉරානයේ පැවති ඇමරිකා- ඊශ්‍රායල  විරෝධී පාලන තන්ත්‍රය පෙරළා දමා ඔවුන්ට හිතවත් පාලන තන්ත්‍රයක් පිහිටුවා ගැනීම බවක් ද පෙනිණි .

කෙසේ නමුත් මේ වනවිට යුද්ධයට  පසුබිම් වන  කේන්ද්‍රීය කාරණා හෝමුස් සමුද්‍ර සන්ධිය හා  බැඳී ඇති බව දැකිය හැකි වේ. ඇමරිකාවට මේ වනවිට වැඩියෙන්ම අවශ්‍ය වී ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානයේ ග්‍රහණයෙන් නිදහස් කර ගැනීමට ය.

ඉරානය මෙම ගැටුමේ දී හෝමුස්  සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනය අවහිර කරමින් එය ඉතා ප්‍රබල අවියක් ලෙස භාවිත කරන්නට පටන් ගත් බව කව්රුත් දන්නා කාරණයකි.  මෙම සමුද්‍ර සන්ධිය ලෝකයේ තෙල් ප්‍රවාහන කටයුතුවල දී අතිශයින් තීරණාත්මක නැව් මාර්ගයකි. ලෝකයේ සමස්ත තෙල් සැපයුමෙන් 20% කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙන්නේ මෙම සමුද්‍ර සන්ධිය හරහා ය.

මෙම සමුද්‍ර සන්ධිය මත විශාල බලයක් පැතිරවීමට ඉරානයට හැකි වී තිබීම නිසා  ලෝක ආර්ථිකයට ද දැඩි  බලපෑමක් කිරීමට ඔවුන්ට හැකි වී ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.

හෝමුස් සමුද්‍ර සන්ධිය
හෝමුස් සමුද්‍ර සන්ධිය

ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය මත පවත්වන මෙම බලය ඇමරිකාවට ලොකු ප්‍රශ්නයක් වී තිබෙන්නකි. ඉරානය මෙවැනි බලයක් හිමි කරගෙන සිටීම දීර්ඝ කාලීනව ද ඇමරිකාවට සහ ඔවුන්ගේ මිත්‍ර පාර්ශ්වවලට උපායමාර්ගිකව විශාල අවාසියක් ඇති කරන කාරණයක් බව ද අමුතුවෙන් කිව යුතු නොවේ.

මෙම තත්වය තුළ දැන් ඇමරිකාවේ  ප්‍රමුඛ අරමුණ  වී ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධිය අවියක් ලෙස භාවිත කිරීමට ඉරානයට ඇති හැකියාව   බිඳ දැමීම බව පෙනේ.
මෙම ප්‍රශ්නය විසඳා ගන්නා  තුරු යුද්ධය අවසන් කිරීමට ඇමරිකාව සූදානම් නැති ආකාරයක් දිස් වේ.

අනෙක් අතට ඉරානය ද මෙම ආධිපත්‍යය ලෙහෙසියෙන් අත් හැරීමට සූදානම් නැති බව පැහැදිලිය. හෝමුස් සමුද්‍ර සන්ධිය ඔවුන්ට ද  උපායමාර්ගිකව කෙතරම් වැදගත් ද යන්න දන්නා බැවිනි. මේ වනවිට යුද්ධය ඉදිරියට යමින් ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධියට අදාල මෙම පසුබිම තුළ යයි පැවසිය හැකිය.

නිහාල් පීරිස්.

එතෙර - මෙතෙර