
“පහුගිය කාලෙ පුරාවටම මායි මහත්තයයි, අපේ ළමයි තුන් දෙනයි උදේට ගෙදරින් පිටත් වුණේ අපේ පුංචි කාර් එකෙන්. ඒකෙන් මහත්තයාගේ කන්තෝරු ගමනට වගේම, මගෙයි ළමයි තුන් දෙනාගෙයි ගෙයි–ඉස්කෝලෙ ගමන්වලටත් ලොකු පහසුවක් වුණා. ඒත් දැන් හයිවේවල කාර් එකක පිටිපස්සේ සීට් එකේ යන අයත් සීට් බෙල්ට් දාන්න ඕනේ කියන නීතියත් එක්ක පිටිපස්සේ සීට් එකේ තුන්දෙනෙක් යන එකත් බැරිලු. දැන් ඉතින් මට වෙන්නේ ඒ හතර දෙනාව කාර් එකේ යවලා මට බස් එකේ යන්නයි. රටේ විසඳන්න මෙච්චර ප්‍රශ්න තියෙද්දී මොනවද මේ කරන විකාර වැඩ?”
පසුගියදා මා හමුවූ ගුරු මිතුරියක දැඩි කලකිරීමකින් එසේ පැවසුවාය.
ඇයගේ ප්‍රකාශය තුළ ඇත්තේ හුදෙක් නීතියක් පිළිබඳ විරෝධයක් පමණක් නොවේ. එය නීතියක් ජන ජීවිතයට පැමිණි විට මතුවන ප්‍රායෝගික ගැටලුවකි.
ඇත්ත වශයෙන්ම, වාහනයක ගමන් කරන විට ආසන පටිය පැළඳීම ජීවිත ආරක්ෂා කරන සරලම පියවර අතරින් එකකි. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ආසන පටි භාවිතයෙන් වාහන මගීන්ගේ මරණ අවදානම සියයට 50ක් දක්වා අඩු කළ හැකි බවයි.
එහෙත් මෙහි ඇති ගැටලුව වන්නේ ආසන පටියක් පැළඳීමේ වැදගත්කම පිළිබඳව නොවේ.
“ආසන තුනක් තිබෙන පසුපස අසුනක ආසන පටි දෙකක් පමණක් තිබේ නම් තුන්වැන්නාට කුමක් සිදුවේද?” යන්නයි.
මෙය අද ශ්‍රී ලංකාවේ මෝටර් රථ හිමියන්, විශේෂයෙන් දරුවන් සමඟ ගමන් කරන මධ්‍යම පාන්තික පවුල් ඉදිරියේ මතුවන වැදගත් ප්‍රායෝගික ප්‍රශ්නයකි.
හදිසියේ ආපු නීතියක්ද?
2026 සැප්තැම්බර් 20 වැනිදා සිට අධිවේගී මාර්ගවල ගමන් කරන වාහනවල සියලුම මගීන් ආසන පටි පැළඳ සිටීම අනිවාර්ය කරමින් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ. පාර්ලිමේන්තුවද ජුනි 17 වැනිදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් සහන කාලය අවසන් කිරීම අනුමත කර තිබිණි.
එබැවින් මෙය සැප්තැම්බර් 20 වැනිදා හදිසියේ හඳුන්වා දුන් නව නීතියක් ලෙස සැලකීම නිවැරදි නොවේ. එහි මූලික නීතිමය පදනම 2025 සැප්තැම්බර් 25 වැනිදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් ඇති කර තිබිණි. එමඟින් අධිවේගී මාර්ගයක ගමන් කරන රියැදුරු මෙන්ම සෑම මගියකුම තම ආසනයට අදාළ ආසන පටිය පැළඳිය යුතු බවට නියම කර තිබේ.
එම ගැසට් පත්‍රයේම වැදගත් සංක්‍රාන්ති විධිවිධානයක්ද තිබේ. නිෂ්පාදකයා විසින් මුලින් පසුපස මැද ආසනයට ආසන පටියක් සවි කර නොතිබූ ඇතැම් මෝටර් රථ සඳහා එම නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීමට අවස්ථාව ලබාදී තිබිණි. එවැනි විධිවිධාන නිසාම ජනතාවට තම වාහන අනුව අවශ්‍ය වෙනස්කම් සිදුකර ගැනීමට කාලයක් ලැබිණි.
ඒ අනුව අද සිදුවන්නේ අලුත් ආරක්ෂක සංකල්පයක් හඳුන්වාදීමකට වඩා, කලින් හඳුන්වා දුන් නීතියක් සඳහා ලබාදී තිබූ සහන කාලය අවසන් කිරීමකි.
ආසන තුනයි, පටි දෙකයි
ප්‍රශ්නය පැන නගින්නේ මෙතැනය.
මෝටර් රථයක පසුපස අසුන පළලින් පුද්ගලයන් තිදෙනකුට වාඩිවිය හැකි වුවද, එහි ආසන පටි තුනක් තිබීම අනිවාර්යයෙන්ම සිදුවන්නේ නැත. විශේෂයෙන් පැරණි හෝ ඇතැම් ආනයනික මෝටර් රථවල පසුපස මැද ආසනයට වෙනම ආසන පටියක් නොතිබිය හැකිය.
එවැනි වාහනයක “අසුන තිබෙනවා නම් වාඩිවෙන්න බැරි ඇයි?” යන ප්‍රශ්නය සාමාන්‍ය මගියකුට මතුවීම ස්වාභාවිකය.
නමුත් අධිවේගී මාර්ගයේදී ප්‍රශ්නය අසුනේ පළල නොව, එම අසුනේ සිටින පුද්ගලයා ආරක්ෂිතව සිරකර තබාගැනීමට ඇති පහසුකමය.
පොලිස් රථවාහන කළමනාකරණ හා මාර්ග ආරක්ෂණ අංශය පවසන පරිදි, පසුපස අසුනේ ආසන පටි දෙකක් පමණක් තිබේ නම් එහි ගමන් කළ හැක්කේ එම පටි භාවිත කළ හැකි මගීන් දෙදෙනකුට පමණි. මැද තුන්වැන්නකු ආසන පටියක් නොමැතිව ගමන් කරන්නේ නම්, ඔහුට එරෙහිව නීතිමය පියවර ගත හැකිය.
ආසන පටි නොමැති වාහන අධිවේගී මාර්ගයට ඇතුළුවීම පවා වැළැක්වීමට පොලිසිය පියවර ගන්නා බවද වාර්තා වී තිබේ.
“අපි පස් දෙනෙක්. කාර් එකේ ආසනත් පහයි”
මෙහි සැබෑ සමාජ ප්‍රශ්නය පැහැදිලි වන්නේ පවුලක් උදාහරණයට ගත් විටය.
මවුපියන් දෙදෙනකු සහ දරුවන් තිදෙනකු සිටින පවුලක් තම කුඩා මෝටර් රථයෙන් ගමන් කරයි. රියැදුරු සහ ඉදිරි මගියා සඳහා ආසන පටි දෙකකි. පසුපස අසුනේ ආසන පටි දෙකකි.
එවිට මෝටර් රථයේ සාමාන්‍ය ආසන සංඛ්‍යාව පහක් වුවද, ආසන පටි භාවිත කළ හැකි පුද්ගලයන් සංඛ්‍යාව හතරකි.
මෙතැනදී නීතියේ ආරක්ෂක තර්කය පැහැදිලිය. එහෙත් පවුලේ ප්‍රායෝගික ගමන් අවශ්‍යතාවද සැබෑය.
“එක් දරුවකුට බස් එකේ යන්න කියනවාද?”
“දරුවකු ඉදිරිපසට ගෙන එනවාද?”
“අලුත් වාහනයක් මිලදී ගන්නවාද?”
“අධිවේගී මාර්ගය වෙනුවට සාමාන්‍ය මාර්ගයෙන් යනවාද?”
මේවා නීතියක් හඳුන්වා දීමෙන් පසුව සාමාන්‍ය පවුලක් ඉදිරියේ ඇතිවන සැබෑ ගැටලුය.
විශේෂයෙන් දරුවන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් අවශ්‍යය. දරුවකුට ආසන පටියක් තිබීම පමණක් නොව, එය දරුවාගේ වයසට හා ශරීර ප්‍රමාණයට ගැළපෙන ආකාරයෙන් භාවිත කිරීම වැදගත්ය. ශ්‍රී ලංකාවේ 2025 ගැසට් විධිවිධානවලද වයස අවුරුදු 12ට අඩු හෝ උස සෙන්ටිමීටර් 135 නොඉක්මවන දරුවන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් කර තිබේ.
එබැවින් “තුන්වැන්නා ඉදිරිපසට ගෙන එන්න” වැනි සරල උපදෙසක් ලබාදීමෙන් මේ ප්‍රශ්නය විසඳිය නොහැක.
පිටුපස අසුනේ තිදෙනකුට වාඩි වී ගමන් කිරීම සඳහාම සැලසුම් කළ මෝටර් රථ ලෝකයේ බහුලව දක්නට ලැබුණත්, එවැනි වාහන ශ්‍රී ලංකාවේ භාවිතයේ ඇත්තේ ඉතා සීමිත වශයෙනි. මෙරට මාර්ගවල බහුලව දක්නට ලැබෙන කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ මෝටර් රථ රැසක පිටුපස අසුන ප්‍රායෝගිකව පුද්ගලයන් තිදෙනකු සඳහා වෙන්කර තිබුණද, මැද අසුනේ පළල, ආසන පටි සැකැස්ම සහ මගී ආරක්ෂණ පද්ධති අනුව ඒවායේ තිදෙනකු ගමන් කිරීමේ පහසුව හා ආරක්ෂාව එකිනෙකට වෙනස් වේ.
එබැවින් “පිටුපස අසුනේ තිදෙනකුට ඉඩ තිබීම” සහ “තිදෙනකුට සම්පූර්ණ ආරක්ෂිතව ගමන් කිරීමට නිර්මාණය කර තිබීම” යන කරුණු දෙක එකම දෙයක් ලෙස සැලකිය නොහැක.
මෙහි තවත් වැදගත් කරුණක් වන්නේ වාහනයේ නිෂ්පාදකයා විසින් අනුමත කර ඇති මගී ධාරිතාව සහ ආසන පටි සංඛ්‍යාවයි. නීතිය දැඩි කිරීමේදී එම තාක්ෂණික වෙනස්කම් සැලකිල්ලට නොගෙන සියලු මෝටර් රථ එකම ආකාරයකින් සලකා බැලීමෙන් ප්‍රායෝගික ගැටලු මතුවිය හැකිය.
ආසන පටියක් එක් මිනිසකුට පමණක් නොව තවත් මිනිසකුටත් ආරක්ෂාවකි
ආසන පටි පැළඳීමේ වැදගත්කම ගැන තවත් කරුණක් තිබේ.
අනතුරකදී ආසන පටියක් නොමැති පසුපස මගියකු තමන්ගේ ජීවිතයට පමණක් අවදානමක් ඇති නොකරයි. ඔහු හෝ ඇය වේගයෙන් ඉදිරියට විසිවී ඉදිරි අසුනේ සිටින පුද්ගලයාටද බරපතළ තුවාල සිදු කළ හැකිය.
විද්‍යාත්මක අධ්‍යයනවලින්ද පෙන්වා දී ඇත්තේ ආසන පටි නොපැළඳි පසුපස මගීන් ඉදිරිපස මගීන්ට අමතර අවදානමක් ඇති කරන බවයි.
ඒ නිසා “මම පසුපස ඉන්නවා. මට මොනවා වුණත් කමක් නැහැ” යන අදහසද නිවැරදි නොවේ.
අධිවේගී මාර්ගයකදී මෙය තවත් වැදගත්ය. වාහනයක් ඉහළ වේගයකින් ධාවනය වන විට හදිසි ගැටීමකදී මගියකුගේ ශරීරය ඉදිරියට ගමන් කිරීමට ඇති ප්‍රවණතාව විශාලය. ආසන පටිය එම චලනය සීමා කරයි. වාහනයෙන් පිටතට විසිවීමේ අවදානමද අඩු කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයද පැහැදිලි කරන්නේ ආසන පටි අනතුරු සිදුවීම වළක්වන උපකරණයක් නොව, අනතුරක් සිදුවූ විට තුවාල හා මරණ අවදානම අඩු කරන ආරක්ෂක උපකරණයක් බවයි.
සැප්තැම්බර් 21 අනතුරෙන් ලැබුණු පණිවිඩය
මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පටන් ගෙන දිනක් ගතවීමටත් පෙර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම හා දොඩංගොඩ අතර සිදුවූ බහු වාහන අනතුර ආසන පටි පිළිබඳ සාකච්ඡාවට ප්‍රායෝගික උදාහරණයක් ලබා දුන්නේය.
සැප්තැම්බර් 21 වැනිදා උදෑසන සිදුවූ එම අනතුරට වාහන 11ක් පමණ සම්බන්ධ වූ අතර, පුද්ගලයන් කිහිප දෙනකු රෝහල්ගත කර තිබිණි. පොලිසිය පසුව සඳහන් කළේ මුල් ගැටීම අධික වේගයෙන් පැමිණි කැබ් රථයක් තිරිංග යෙදීමේදී ලිස්සා ආරක්ෂක බාධකයක ගැටීමෙන් ආරම්භ වූ බවයි.
එම අනතුරට සම්බන්ධ පාසල් සිසුන් ආසන පටි පැළඳ සිටීම හේතුවෙන් ඔවුන්ට බරපතළ තුවාල සිදුවීම වැළකුණු බව නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර ප්‍රකාශ කර තිබේ. රෝහල්ගත කළ සිසුන් අටදෙනකුගෙන් කිසිවකුට බරපතළ තුවාල නොතිබූ බවද ඔහු සඳහන් කළ බව වාර්තා විය.
එය එක් සිද්ධියක් පමණක් වුවද, ආසන පටියක ආරක්ෂිත වටිනාකම තේරුම් ගැනීමට එය ප්‍රබල උදාහරණයකි.
නමුත් ආසන පටියෙන් අනතුර වළක්වන්නේ නැත
මෙහිදී තවත් වැදගත් කරුණක් අමතක නොකළ යුතුය.
ආසන පටියක් පැළඳීමෙන් අනතුරක් සිදුවීම නතර වන්නේ නැත.
අධික වේගයෙන් රිය පැදවීම, වැසි සහිත මාර්ගවල වේගය අඩු නොකිරීම, වාහන අතර ප්‍රමාණවත් පරතරයක් නොතැබීම, දුර්වල ටයර්, රියැදුරුගේ නොසැලකිල්ල සහ රිය පැදවීමේදී ජංගම දුරකථන භාවිත කිරීම වැනි කරුණු අනතුරු ඇතිවීමට බලපායි.
ගැලණිගම–දොඩංගොඩ අනතුර සම්බන්ධයෙන්ද පොලිසිය අධික වේගය හා රියැදුරුගේ නොසැලකිල්ල පිළිබඳව සඳහන් කර ඇති අතර, වැසි සහිත තත්ත්වයකදී වේගය අඩු කරන ලෙස රියැදුරන්ට අනතුරු අඟවා තිබේ.
එබැවින් “ආසන පටි දැම්මා, දැන් අපි ආරක්ෂිතයි” යන අදහසද වැරදිය.
ආසන පටිය මාර්ග ආරක්ෂණ දාමයේ එක් පුරුකක් පමණි.
බස් රථවලටත් එකම ප්‍රශ්නය
මෙය පෞද්ගලික මෝටර් රථවලට පමණක් සීමා වූ ප්‍රශ්නයක් නොවේ.
අධිවේගී මාර්ග භාවිත කරන පාසල් බස් රථ, සංචාරක බස් රථ සහ වෙනත් මගී ප්‍රවාහන සේවාද මෙයට යටත්ය. පොලිසිය පෙන්වා දී ඇත්තේ අධිවේගී මාර්ගයේ ගමන් කරන බස් රථවලද සියලු මගීන් ආසන පටි පැළඳ සිටිය යුතු බවයි.
එබැවින් පාසල් සංචාරයක්, ආගමික චාරිකාවක් හෝ විනෝද චාරිකාවක් සඳහා බස් රථයක් අධිවේගී මාර්ගයට යොදා ගන්නා විට, බස් රථයේ ආසන, ආසන පටි සහ මගීන්ගේ සංඛ්‍යාව අතර ගැළපීම පිළිබඳවද අවධානය යොමු කළ යුතුය.
නීතියත් ජන ජීවිතයත් අතර පාලම
නීතියක් හඳුන්වා දීමේදී එහි අරමුණ පමණක් පැහැදිලි කිරීම ප්‍රමාණවත් නැත.
එය ජනතාවගේ දෛනික ජීවිතයේදී ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්නද පැහැදිලි කළ යුතුය.
ඒ නිසා වාහන හිමියන්ට,
- තම වාහනයේ ආසන පටි කීයක් තිබිය යුතුද?
- නිෂ්පාදකයා විසින් ආසන පටියක් සපයා නොමැති මැද ආසනයක් සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක්ද?
- අමතර ආසන පටි සවි කිරීම නීත්‍යානුකූලව හා ආරක්ෂිතව සිදුකරන්නේ කෙසේද?
- දරුවන් රැගෙන යාමේදී අනුගමනය කළ යුතු ආරක්ෂිත ක්‍රම මොනවාද?
- බස් රථ හා පාසල් ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් තිබෙන වගකීම් මොනවාද?
යන්න පිළිබඳ එකම පැහැදිලි මාර්ගෝපදේශයක් අවශ්‍යය.
එසේම නීතිය උල්ලංඝනය කළ විට රියැදුරු, වාහන හිමිකරු සහ මගියා අතර වගකීම කෙසේ බෙදෙන්නේද යන්නද ජනතාවට පැහැදිලි විය යුතුය. පොලිසිය සඳහන් කර ඇති පරිදි, අදාළ නීති යටතේ රුපියල් 1,000ක දඩයක් පැවරිය හැකි අතර, වාහන හිමිකරු, රියැදුරු හෝ මගියාට වගකීම පැවරිය හැකි බව නිල පොලිස් නිවේදනයේ දැක්වේ.
අවසානයේ ප්‍රශ්නය “තුන්දෙනාට යන්න පුළුවන්ද?” පමණක් නොවේ
ඉහත ගුරුවරිය කළ ප්‍රකාශය අනුව අපේ රටේ බොහෝ පවුල්වලට පසුපස අසුනේ තිදෙනකු ගමන් කිරීම අලුත් දෙයක් නොවේ. කුඩා මෝටර් රථයකින් මවුපියන් දෙදෙනා සහ දරුවන් තිදෙනා ගමන් කිරීම ඇතැම් පවුල්වල දෛනික ජීවිතයේම කොටසකි.
එහෙත් අධිවේගී මාර්ගයක ඉහළ වේගයකින් ගමන් කරන වාහනයක ආසන පටියක් නොමැති පුද්ගලයකු රැගෙන යාමෙන් ඇතිවන අවදානමද නොසලකා හැරිය නොහැකිය.
ඒ නිසා මේ නීතිය දෙස බැලිය යුත්තේ “ජනතාවට තවත් කරදරයක්” හෝ “නීතියක් පැනවූ පමණින් ප්‍රශ්නය විසඳුණා” යන අන්ත දෙකෙන් එකක සිට නොවේ.
ප්‍රශ්නය වන්නේ ආරක්ෂාවත් ජන ජීවිතයේ යථාර්ථයත් එකට ගළපා ගන්නේ කෙසේද යන්නයි.
අවසානයේ අප ඇසිය යුතු ප්‍රශ්නය,
“පසුපස අසුනේ තුන්දෙනාට මොකද වෙන්නේ?”
යන්න පමණක් නොවේ.
ඊට වඩා වැදගත් ප්‍රශ්නය,
“අපේ වාහනයේ ගමන් කරන සෑම පුද්ගලයකුම අනතුරකදී හැකිතාක් ආරක්ෂිතව තබා ගන්නේ කෙසේද?”
යන්නය.
එයට පිළිතුර ආසන පටි නීතියෙන් පමණක් සොයාගත නොහැකිය. වාහන නිෂ්පාදන ප්‍රමිතීන්, නිසි වාහන පරීක්ෂාව, දරුවන්ගේ ආරක්ෂාව, රියැදුරු විනය, වේග පාලනය, මාර්ග තත්ත්වය, නීතිය ක්‍රියාත්මක කිරීම සහ ජනතාවගේ මාර්ග ආරක්ෂණ අධ්‍යාපනය යන සියල්ල එකට සම්බන්ධ වූ පුළුල් ක්‍රමවේදයක් අවශ්‍යය.
එවිට ආසන පටි නීතිය “පසුපස අසුනේ තුන්වැන්නාට තහනමක්” බවට පමණක් නොව, වාහනයක ගමන් කරන කිසිවකු අනතුරකදී අනවශ්‍ය ලෙස ජීවිතයෙන් වන්දි ගෙවිය යුතු නොවන බව තහවුරු කිරීමේ සමාජ වගකීමක් බවට පත්වනු ඇත.