
ලෝකයේ ලොකුම දූපත ලෙස සැලකෙන ග්‍රීන්ලන්තය ඇමරිකාව යටතට පවරා ගන්නා බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය කාලයේ තර්ජනාත්මක ප්‍රකාශ කරමින් සිටි බව රහසක් නොවෙයි. සාමකාමීව බැරි වුණොත් බලහත්කාරයෙන් හෝ ග්‍රීන්ලන්තය ඇමරිකාවේ පාලනය යටතට ගන්නා බවක් ඔහු ප්‍රකාශ කළා. මේ වනවිට ග්‍රීන්ලන්තය අයත් වන්නේ ඩෙන්මාර්ක රාජ්‍යයට යි. නමුත් එය වෙනම ආණ්ඩුවක් ආදිය ඇති ස්වයං පාලනයක් සහිත රටක්.
ඇමරිකාවේ ඉහත කී තර්ජනය විශාල ආන්දෝලනයක් ඇති කළ කාරණයක් වූ අතර ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය ඊට දැඩි විරෝධයක් දැක්වූවා. ග්‍රීන්ලන්තය ඇමරිකාව යටතට ගත යුතු බවක් ට්‍රම්ප් පැවසුවේ ඇමරිකාවේ ආරක්ෂාව සඳහා එය අවශ්‍ය බව පවසමින්.

මෙම පසුබිම තුළ ග්‍රීන්ලන්තයේ ඉරණම කුමක් වේවිද යන්න සම්බන්ධයෙන් පසුගිය කාලයේ ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්රය තුළ විශාල උනන්දුවක්, කුතුහලයක් පැවතුණා.
එසේ තිබිය දී මෙම කාරණයට අදාල අලුත් සිද්ධියක් ගැන මෙයට දින කිහිපයකට පෙර වාර්තා වුණා.
කෙසේ හෝ වේවා, ඒ ගැන කතා කිරීමට පෙර ඇමරිකාව ග්‍රීන්ලන්තය අයිති කර ගැනීමට අදහස් කළේ මන්ද යන්න ගැන පැහැදිලි කිරීම අවශ්‍ය යි.
ග්‍රීන්ලන්තය පිහිටා තිබෙන්නේ උත්තර ධ්‍රැවය ආසන්න ආක්ටික් කලාපයේ ඇමරිකාව සහ යුරෝපය අතර යි. ගෝලීය උණුසුම ඉහළ යාමත් සමග මෙම කලාපයේ හිම දිය වීමට පටන්ගෙන ඇති අතර මේ නිසා මෙම කලාපය හරහා අලුත් නැව් මාර්ග විවෘත වීමට පටන්ගෙන තිබෙනවා. මේ නිසා මෙම කලාපය ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු, හමුදාමය කටයුතු අදියේ දී පෙරටත් වඩා වැදගත් කලාපයක් බවට පත් වෙමින් තිබෙනු දැක ගන්නට ලැබෙනවා. මේ නිසා මේ ඉසව්ව වෙත ලෝක බලවතුන්ගේ ඇල්ම බැල්ම වැඩි වැඩියෙන් වැටෙන්නට පටන් ගෙන ඇති බවත් පෙනෙනවා. චීනය, රුසියාව වැනි ඇමරිකාවේ ප්‍රතිවාදී රටවල් ද මෙම ආක්ටික් කලාපය තුළ සිය බලය පැතිරවීමට වැඩි උනන්දුවක් දක්වමින් සිටිනු දැකිය හැකියි. ඔවුන් මෙම කලාපය තුළ විවිධ ආයෝජන කරමින් සිටින අතර රුසියාව මෙහි පිහිටා ඇති සෝවියට් යුගයට අයත් පැරණි හමුදා කඳවුරු නවීකරණය කර විවෘත කරමින් සිටිනවා.
ඇමරිකාවේ ප්‍රතිවාදීන් මේ ආකාරයෙන් මේ කලාපයේ බලවත් වුවහොත් එය ඇමරිකාවේ ආරක්ෂාවට බලපාන්නක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැහැ.

චීනය සහ රුසියාව ග්‍රීන්ලන්තය තුළත් ආයෝජන සිදු කිරීමට පියවර ගනීවි ද යන සැකයකුත් ට්‍රම්ප් තුළ තිබූ බව දකින්නට ලැබුණා. ග්‍රීන්ලන්තය ඇමරිකාව යටතට ගන්නා බවට ට්‍රම්ප් තර්ජනය කළේ මෙම පසුබිම තුළ යි.
ට්‍රම්ප් ග්‍රීන්ලන්තය ගැන උනන්දුව දැක්වීමට තවත් හේතුවක් තිබෙනවා. එනම් ග්‍රීන්ලන්තය ඉතා දුර්ළභ ස්වභාවික සම්පත්වලින් අනූන භූමියක් වීම යි.
මේ ඇතැම් ඛණිජ සම්පත් වර්තමානයේ ලොකු ඉල්ලුමක් ඇති මෙවලම්, භාණ්ඩ ආදිය තැනීමට අවශ්‍ය වන අමු ද්‍රව්‍ය. අධි තාක්ෂණික උපකරණ, යුද ගුවන් යානා, විදුලි මෝටර් රථ, හරිත බල ශක්ති පද්ධති ආදිය සඳහා මේවා භාවිත කෙරෙනවා.

මේ වනවිට මෙවැනි ඛණිජ සම්පත් වැඩියෙන්ම ඇත්තේ චීනය සතුව යි. ඇමරිකාවට පවා මෙහිදී චීනය මත යැපෙන්නට සිදු වී තිබෙනවා. මේ ආකාරයෙන් තම ප්‍රතිවාදියකු මත යැපෙන්නට සිදු වී තිබීම ටිකක් අනතුරුදායක බව ඇමරිකාව දන්නවා. මේ නිසා ඇමෙරිකාව මෙම අමුද්‍රව්‍ය සපයා ගැනීම සඳහා වෙනත් මාර්ග සොයමිනුයි සිටින්නේ. මෙතනදී ඔවුන් ග්‍රීන්ලන්තයේ සම්පත් ගැනත් ඇසගසාගෙන සිටිනවා. ග්‍රීන්ලන්තය ඇමරිකාවට අයිති කර ගැනීමේ කතාව පිටුපස මේ කාරණයත් ඇති බව අමතක නොකළ යුතුයි.
කෙසේ හෝ වේවා, මේ ග්‍රීන්ලන්ත ප්‍රශ්නයට අදාලව පසුගිය දා අලුත් සිද්ධියක් සිදු වුණා. එනම් අමරිකාව, ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය ගිවිසුමකට එළැඹීම යි. මේ නිසා ඇමරිකාව ග්‍රීන්ලන්තය පවරා ගැනීමේ අනතුර දැන් පහව ගොස් තිබෙනවා.

මේ ගිවිසුමට අනුව ඉදිරියේ දී ග්‍රීන්ලන්තයේ ආරක්ෂාවට අදාල කටයුතු ඇමරිකාවට භාර දීමට ඩෙන්මාර්කය කටයුතු කරනු ඇති. ඇමරිකානු හමුදා කඳවුරු කිහිපයක් අලුතෙන් ඉදි වනු ඇති බවත් පැවසෙනවා.
එමෙන්ම ඇමරිකාවේ විරුද්ධවාදී පාර්ශ්වවලට ග්‍රීන්ලන්තය තුළ හමුදා කඳවුරු පිහිටුවීමට හෝ වෙනත් සංවේදී ආයෝජන සිදු කිරීමට මේ ගිවිසුම අනුව පහසු වන්නේ නැහැ. එවැනි කටයුතු සඳහා ඇමරිකාවේ ලිඛිත අවසරය ගත යුතුයි.

ගිවිසුම තුළින් ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවයට කිසිදු බලපෑමක් නොවන බව රටවල නායකයන් ප්‍රකාශ කර තිබෙනවා.
පසුගිය අඟහරුවාදා එනම් 22 වැනි දා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්,
ඩෙන්මාර්ක අගමැතිනි මෙටේ ෆ්රෙඩෙරික්සන් සහ ග්‍රීන්ලන්ත අගමැති ජෙන්ස් ෆ්‍රෙඩෙරික් නීල්සන් මෙම ගිවිසුමට අත්සන් තැබුවා. ඒ නිව් යෝක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහ සභා වාරය අතරතුර යි. දැන් එය ඩෙන්මාර්කයේ සහ ග්‍රීන්ලන්තයේ පාර්ලිමේන්තු වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත යුතු වෙනවා. ගිවිසුම ක්‍රියාත්මක කළ හැකි වන්නේ එයින් පසුව පමණයි.
නිහාල් පීරිස්