පවතින අධික වර්ෂාපතනයත් සමග නිල්වලා ගඟ පස්ගොඩ, පිටබැද්දර, අතුරලිය, මාලිම්බඩ, කඹුරුපිටිය හා තිහගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් සුළු ගංවතුර මට්ටමට පැමිණ තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිං ගඟද තවලම, නාගොඩ, බද්දේගම, වැලිවිටිය-දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින් සුළු ගංවතුර මට්ටමට පැමිණ ඇති බවයි.මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වෙසෙන ජනතාව සැළකිල්ලෙන් කටයුතු කරන්නැයි වාරිමාර්ග දෙපාරතමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
මේ අතර මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගෙ කෝරලේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹන්ගමුව, කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර හා නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑම් පිළිබඳ රතු නිවේදන නිකුත් කර තිබේ.
ගාල්ල, මහනුවර, කෑගල්ල, මාතර හා රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට අදියර දෙක යටතේ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණි.අදියර එක යටතේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණේ, කොළඹ, ගාල්ල, ගම්පහ හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල හා රත්නපුර දිස්ත්‍රික්ක සඳහායි.
බටහිර-මධ්‍යම සහ ඊට යාබද වයඹ බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද (24) රාත්‍රී කාලයේදී ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළ තීරය හරහා ගමන් කිරීමට හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඉන් මෙරටට සෘජු බලපෑමක් නොමැති බවයි.කෙසේ වෙතත් එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත්අපේක්ෂා කළ හැකියි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.