ඩෙංගු රෝගීන් ලක්ෂයට ආසන්නයි ; වැඩිම රෝගීන් ගම්පහෙන්

මෙරටින් මේ වන විට ඩෙංගු රෝගීන් 99,634 දෙනෙකු වාර්තා වී ඇති අතර, එම රෝගීන් අතරින් 77 දෙනෙකු ඩෙංගු ආශ්‍රිතව මියගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම දත්ත අනුව වාර්තා වේ. ඒ අනුව ඩෙංගු රෝගීන් අතර මරණ අනුපාතය 0.077%ක් ලෙස සටහන් වී තිබේ.
සමස්ත රෝගීන්ගෙන් 52.53%ක්, එනම් රෝගීන් 52,340 දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 21,136කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 19,569ක්, මහනුවරින් 7,547ක්, කළුතරින් 6,339ක් සහ මාතරින් 6,273ක් වාර්තා වී තිබේ.
මාසික වශයෙන් සැලකීමේදී මෙම වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ජූලි මාසයේදී වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 29,964කි. ජුනි මාසයේ රෝගීන් 21,533ක් ද, අගෝස්තු මාසයේ 10,155ක් ද වාර්තා වී ඇති අතර සැප්තැම්බර් මාසයේ මේ දක්වා රෝගීන් 4,144ක් වාර්තා වී ඇත.
මේ වන විට දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) බලප්‍රදේශ 37ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නිවෙස් හා අවට පරිසරයේ මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය අගෝස්තු මාසයේදී පෙන්වා දී තිබුණේ 2026 වසරේ ඩෙංගු ව්‍යාප්තිය මෑත වසරවල දක්නට ලැබුණු බරපතළම ව්‍යාප්ති තත්ත්වයන්ගෙන් එකක් බවයි. එම අවස්ථාව වන විට රෝගීන් 90,000කට වැඩි සංඛ්‍යාවක් සහ ඩෙංගු ආශ්‍රිත මරණ 65කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබිණ
ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙන්නේ වැසි තත්ත්වය, පරිසර වෙනස්කම්, නාගරීකරණය, ජනගහන සංචලනය සහ නිවාස හා ඒ අවට මදුරු බෝවන ස්ථාන පැවතීම ඩෙංගු ව්‍යාප්තිය කෙරෙහි බලපාන ප්‍රධාන සාධක වන බවයි. එබැවින් ඩෙංගු මර්දනය සඳහා සෞඛ්‍ය අංශවල ක්‍රියාමාර්ග සමඟ ජනතාවගේ අඛණ්ඩ සහභාගිත්වයද අත්‍යවශ්‍ය බව එම ඒකකය අවධාරණය කරයි.

කාලීන පුවත්