ලොව දිනෙන් දින පෙරට එන විනෝදාංශයක්;ගුවන් යානා නිරීක්ෂණය (Plane Spotting )


අහසේ පියාසර කරන අහස් යානා දෙස ආශාවෙන් බලා සිටීම අප බොහෝ දෙනකු කුඩා කල සිටම විඳ ඇති සොඳුරු අත්දැකීමකි. ඉතා ඉහළ අහසේ කුඩා තිතක් මෙන් තිබෙන යානයක් දෙස බලා “මේ කොහේ යන ගුවන් යානයක්ද?” යැයි සිතූ අවස්ථාවක් නොමැති කෙනකු සොයාගැනීමද අපහසුය. ගුවන්තොටුපළක් අසලින් ගමන් කරන විට හිසට ඉතා ආසන්නයෙන් මෙන් පහළට පැමිණෙන දැවැන්ත ගුවන් යානයක් දැක වාහනය නතර කර එය නැරඹූ අයද ඕනෑ තරම් සිටිති.

එහෙත් මේ ආකර්ෂණය හුදෙක් ළමා කුතුහලයක් නොවේ. එය විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ඡායාරූපකරණය, සංචාරය, දත්ත එකතු කිරීම සහ මනෝවිද්‍යාව පවා එකට බැඳුණු ලෝක ව්‍යාප්ත විනෝදාංශයකි. ගුවන් යානා නිරීක්ෂණය (Plane Spotting) ලෙස ප්‍රචලිත මේ ක්‍රියාකාරකම අද ශ්‍රී ලංකාව තුළද තරුණයන් අතර පමණක් නොව විවිධ වයස් කාණ්ඩවල ගුවන් සේවා ලෝලීන් අතර වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී.

ගුවන් සේවා ලෝලීන් ගුවන් යානා නිරීක්ෂණය කරන ආකාරය
ගුවන් සේවා ලෝලීන් ගුවන් යානා නිරීක්ෂණය කරන ආකාරය

සරල අර්ථයෙන් ගතහොත්, ගුවන්තොටුපළක් හෝ ගුවන් මාර්ගයක් ආසන්නයේ සුදුසු ස්ථානයක සිට ගුවන් යානා ගුවන්ගත වීම, ගොඩබැසීම, ධාවන පථයට පිවිසීමට හෝ ඉන් ඉවත්වීමට භූමිය මත ගමන් කිරීම (Taxiing) හෝ අහසේ ගමන් කිරීම නිරීක්ෂණය කිරීම ගුවන් යානා නිරීක්ෂණය ලෙස හැඳින්විය හැකිය. එහෙත් සැබෑ ගුවන් යානා නිරීක්ෂකයකුගේ කාර්යය එතැනින් අවසන් නොවේ. ඔවුහු යානයේ වර්ගය, මාදිලිය, ගුවන් සමාගම, ලියාපදිංචි අංකය, ගුවන් ගමන් අංකය, පැමිණි ස්ථානය, ගමනාන්තය, එන්ජින් වර්ගය සහ ඇතැම්විට එම තනි ගුවන් යානයේ ඉතිහාසය පවා සොයා බලති. ගුවන් සේවා ලෝකයට දැඩි ඇල්මක් දක්වන මෙවැනි පිරිස් අද ජාත්‍යන්තරව “ගුවන් සේවා ලෝලීන්” (AvGeeks – Aviation Geeks) ලෙසද හඳුන්වති.

පළපුරුදු ගුවන් යානා ලෝලියකුට සියලු යානා එක සමාන නොවේ. සාමාන්‍ය අයකුට බෝයිං 787 සහ එයාර්බස් A350 දෙකම විශාල දිගු දුර ගුවන් යානා ලෙස පෙනුණද, නිරීක්ෂකයකුට ඒවායේ පියාපත්, නියමු කුටියේ කවුළු, ගොඩබැසීමේ රෝද පද්ධති, පියාපත් කෙළවර, යානයේ හැඩය සහ එන්ජින්වල ශබ්ද ස්වභාවය අතර වෙනස්කම් හඳුනාගත හැකිය. තවත් අය බෝයිං 777 යානයක දැවැන්ත එන්ජින්, එයාර්බස් A380 යානයක සම්පූර්ණ තට්ටු දෙකකින් යුතු දේහය හෝ බෝයිං 747 යානයේ ඉදිරිපස ඇති ප්‍රසිද්ධ උස්වූ හැඩය දුර සිටම හඳුනාගනිති. ඇතැම්විට එකම මාදිලියේ විවිධ අනුවාද, උදාහරණයක් ලෙස 787-8, 787-9 සහ 787-10—වෙන්කර හඳුනාගැනීමද මොවුන්ගේ අභියෝගයකි.

ශ්‍රී ලාංකික ගුවන් සේවා ලෝලීන් විසින් ලබා ගත් ඡායාරූප

ඔවුන්ගේ අවධානයට ලක්වන තවත් දෙයක් වන්නේ ගුවන් යානයේ ලියාපදිංචි අංකය (Registration Number) ය. මෝටර් රථයකට අංක තහඩුවක් තිබෙන ආකාරයට ලෝකයේ සෑම සිවිල් ගුවන් යානයකටම තමන්ටම අනන්‍ය ලියාපදිංචි සංකේතයක් ඇත. ඇතැම් නිරීක්ෂකයෝ තමන් දැක ඇති සෑම ගුවන් යානයක්ම, දිනය, වේලාව හා ස්ථානය සමඟ මේ අංකයද ලේඛනයක සටහන් කර තබති. මෙය පක්ෂීන් නිරීක්ෂණය කරන අය තමන් දැක ඇති කුරුලු විශේෂ සටහන් කර තබාගන්නවා හා සමාන ක්‍රියාවලියකි. දුර්ලභ යානයක් තම ලැයිස්තුවට එක්කරගැනීම ඔවුන්ට විශාල ජයග්‍රහණයකි.

ගුවන් යානා හඳුනාගැනීමේ සංවිධානාත්මක ක්‍රම විශේෂයෙන් විසිවන සියවසේ යුද සමයන්හි වැදගත් විය. සතුරු සහ මිතුරු ගුවන් යානා ඉක්මනින් වෙන්කර හඳුනාගැනීම සඳහා හමුදා නිලධාරීන්ටත් සාමාන්‍ය නිරීක්ෂකයන්ටත් ගුවන් යානා හඳුනාගැනීමේ පුහුණුව (Aircraft Recognition Training) ලබා දෙන ලදී. ගුවන් යානයක මූලික බාහිර හැඩය පමණක් දැක එහි වර්ගය තීරණය කිරීමට පවා පුහුණුවීම් සිදු කෙරිණි.

ගුවන් සේවා ලෝලීන් විසින් ලබා ගත් ඡායාරූප
ගුවන් සේවා ලෝලීන් විසින් ලබා ගත් ඡායාරූප

පසුව සිවිල් ගුවන් සේවා වේගයෙන් පුළුල් වීමත් සමඟ මේ ගුවන් යානා හඳුනාගැනීමේ උනන්දුව විනෝදාංශයක් බවට පත්විය. විශේෂයෙන් 1950 හා 1960 දශකවල ජෙට් යුගය ආරම්භ වීමෙන් පසු බෝයිං 707, ඩග්ලස් DC-8 වැනි යානාවල පැමිණීම ගුවන් යානා ලෝලීන්ට නව යුගයක් විවෘත කළේය.

අද ගුවන් යානා නිරීක්ෂණ ලෝකයේ විශාලතම පෙරළියක් සිදු කර ඇත්තේ ගුවන් ගමන් සජීවීව නිරීක්ෂණය කරන සේවා (Flight Tracking Services) ය. Flightradar24, RadarBox වැනි යෙදුම් නිසා මීට වසර කිහිපයකට පෙර අහසේ යානයක් දුටු විට එය කුමක්දැයි අනුමාන කිරීමට සිදුවුණත් අද ජංගම දුරකථනය විවෘත කර තත්පර කිහිපයකින් එය හඳුනාගත හැකිය.

ඒ අනුව නවීන ගුවන් සේවා ලෝලියකු යනු කැමරාවක් අතේ තබාගෙන අහස දෙස බලා සිටින පුද්ගලයකු පමණක් නොව, යම් තරමකට ගුවන් සේවා දත්ත විශ්ලේෂකයකුද බවට පත්ව ඇත.

ගුවන් සේවා ලෝලීන් විසින් ලබා ගත් ඡායාරූප
ගුවන් සේවා ලෝලීන් විසින් ලබා ගත් ඡායාරූප

ගුවන් සේවා ලෝලීන් උනන්දුවෙන් සොයන තවත් විශේෂ කරුණක් වන්නේ ගුවන් සන්නිවේදන ඇමතුම් නාමය (Callsign) ය. සාමාන්‍ය මගියා දකින ගුවන් ගමන් අංකය (Flight Number) සහ ගුවන් ගමනාගමන පාලකයන් සමඟ සන්නිවේදනය කිරීමේදී භාවිත වන ඇමතුම් නාමය සෑම අවස්ථාවකදීම එක සමාන වන්නේ නැත.

එමෙන්ම එකම ගුවන් යානය අද කොළඹට පැමිණ හෙට වෙනත් රටකට යා හැකිය. ඒ නිසා නිරීක්ෂකයන්ට ගුවන් ගමන් අංකයට වඩා ගුවන් යානයේ ලියාපදිංචි අංකය ඇතැම්විට වැදගත්ය. එය නිශ්චිත ගුවන් යානයේ “හැඳුනුම්පත” ලෙස සැලකිය හැකිය.

ගුවන් සේවා ලෝලීන්ගේ විශේෂතම අත්දැකීමක් වන්නේ සාමාන්‍යයෙන් යම් ගුවන්තොටුපළකට නොපැමිණෙන ගුවන් යානා මාදිලියක් හෝ ගුවන් සමාගමක් පැමිණීමයි. විශේෂ කුලී ගුවන් ගමනක් (Special Charter Flight), රාජ්‍ය නායකයකු රැගෙන එන ගුවන් යානයක්, අසාමාන්‍ය භාණ්ඩ ප්‍රවාහන යානයක්, පැරණි ගුවන් යානා මාදිලියක් හෝ විශේෂ බාහිර වර්ණ සැලසුමකින් යුතු යානයක් පැමිණෙන බව දැනගත් විට නිරීක්ෂකයෝ පැය ගණනකට පෙරම සුදුසු ස්ථානවලට යති.

බාහිර වර්ණ හා සැරසිලි සැලැස්ම (Livery) යනු ගුවන් සමාගමක් තම ගුවන් යානාවලට යොදන වර්ණ හා සන්නාම සැලැස්මයි. ඇතැම් ගුවන් සමාගම් සංවත්සර, ජාතික උත්සව, ක්‍රීඩා කණ්ඩායම් හෝ ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් එක් යානයකට පමණක් විශේෂ බාහිර සැලැස්මක් යොදයි. එවැනි යානයක් කැමරාවට හසුකරගැනීම නිරීක්ෂකයකුට විශේෂ වටිනාකමක් වේ.

දෙවැනි ලෝක යුද සමයේ යුද අවශ්‍යතා සඳහා ගුවන් යානා නිරීක්ෂණය කළ ආකාරය
දෙවැනි ලෝක යුද සමයේ යුද අවශ්‍යතා සඳහා ගුවන් යානා නිරීක්ෂණය කළ ආකාරය

ගුවන් යානා නිරීක්ෂණය සමඟ ගුවන් යානා ඡායාරූපකරණය (Aircraft Photography) ද තදින් බැඳී තිබේ. ගුවන් යානයක් ඡායාරූපගත කිරීම බැලූ බැල්මට පහසු කාර්යයක් සේ පෙනුණද, පැයට කිලෝමීටර් සිය ගණනක වේගයෙන් ගමන් කරන යානයක් නිවැරදි නාභිගත කිරීමකින්, හොඳ ආලෝකයකින් හා නිසි රූප සංයෝජනයකින් හසුකර ගැනීම දක්ෂතාවයකි.

එබැවින් ගුවන් යානා නිරීක්ෂණය යනු තාක්ෂණික දැනුම පමණක් නොව ආලෝකය, කාලගුණය, කැමරා ෂටර් වේගය (Shutter Speed), කාචයේ නාභි දුර (Focal Length) සහ රූප සංයෝජනය (Composition) පිළිබඳ දැනුමත් එකට එකතු වන විනෝදාංශයකි.

ගුවන් සේවා ලෝලීන් විසින් ලබා ගත් ඡායාරූප
ගුවන් සේවා ලෝලීන් විසින් ලබා ගත් ඡායාරූප

ලෝකයේ ඇතැම් විශාල ගුවන්තොටුපළවල්, ගුවන් සේවා ලෝලීන්ව තම සංස්කෘතියේ කොටසක් ලෙසම පිළිගනී. ඒ සඳහා නිරීක්ෂණ වේදිකා (Observation Decks), නැරඹුම් වේදිකා (Viewing Platforms) හෝ නරඹන්නන් සඳහා වෙන් කළ ප්‍රදේශ (Spectator Areas) පවා සපයා ඇත. එවැනි පහසුකම් මගින් විනෝදාංශය දිරිගැන්වීම පමණක් නොව මිනිසුන් ගුවන්තොටුපළ ආරක්ෂිත සීමාවලට අනවශ්‍ය ලෙස ළඟා වීමද අවම කළ හැකිය.

ශ්‍රී ලංකාවේ තවමත් ජාත්‍යන්තර ප්‍රමිතියේ නිල ගුවන් යානා නිරීක්ෂණ උද්‍යාන සංස්කෘතියක් විශාල වශයෙන් දියුණු වී නැතත්, ගුවන් යානා ලෝලීන් අතර ප්‍රසිද්ධ ස්ථාන කිහිපයක් ඇත.

ශ්‍රී ලාංකික ගුවන් සේවා ලෝලීන් විසින් ලබා ගත් ඡායාරූප
ශ්‍රී ලාංකික ගුවන් සේවා ලෝලීන් විසින් ලබා ගත් ඡායාරූප

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගොඩබැසීමේ ප්‍රවේශ මාර්ග (Runway Approaches) ආශ්‍රිත කිඹුලාපිටිය, ආඬිඅම්බලම හා අවට ප්‍රදේශ ගුවන් යානා නැරඹීමට බොහෝ දෙනකු භාවිත කරන ස්ථාන අතර වේ. මීගමුව කලපු තීරයේ ඇතැම් ප්‍රදේශවලදීද පරිසර සුන්දරත්වය සමඟ යානා නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ලැබේ.

අද මේ සංස්කෘතියට සමාජ මාධ්‍ය විශාල බලපෑමක් කර ඇත. තමා ලබාගත් ඡායාරූපයක් හෝ වීඩියෝවක් Facebook, Instagram, TikTok හෝ ගුවන් සේවා ලෝලී කණ්ඩායම් හරහා තත්පර කිහිපයකින් ලෝකය සමඟ බෙදාගත හැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස පෙර තනි පුද්ගල විනෝදාංශයක් වූ ගුවන් යානා නිරීක්ෂණය ක්‍රමයෙන් සමාජමය ප්‍රජාවක් බවට පත්වෙමින් තිබේ.

අපට ගුවන් යානා දෙස බලා සිටීමට මෙතරම් කැමැත්තක් දක්වන්නේ ඇයි? මෙහි මනෝවිද්‍යාත්මක පැත්තද රසවත්ය.

ගුවන් සේවා ලෝලීන් ගුවන් යානා නිරීක්ෂණය කරන ආකාරය
ගුවන් සේවා ලෝලීන් ගුවන් යානා නිරීක්ෂණය කරන ආකාරය

යානයක් පැමිණෙනතුරු බලා සිටින විට මිනිසාගේ අවධානය එකම දෙයකට යොමුවෙයි. එවිට දුරකථන, කාර්යාල ගැටලු හා දෛනික කලබලවලින් මනස තාවකාලිකව ඉවත්වී වර්තමාන මොහොත කෙරෙහි අවධානය යොමු විය හැකිය. ඒ අර්ථයෙන් මෙය ඇතැමුන්ට සන්සුන්, අවධානය එකතු කරන විනෝදාංශයක් බවට පත්වේ.

තවත් වැදගත් පැත්තක් වන්නේ එකතු කිරීමේ ආශාවයි. යම් අයකු මුද්දර එකතු කරනවා සේ, තවත් අයකු පැරණි කාසි එකතු කරනවා සේ ගුවන් යානා නිරීක්ෂකයකු යානා ලියාපදිංචි අංක එකතු කරයි. සෑම අලුත් යානයක්ම තම ලැයිස්තුවේ හිස් තැනක් පුරවයි.

නමුත් ධාවන පථයක් අසල විනෝදය සැහැල්ලුවට ගත නොහැක. ගුවන් යානා නිරීක්ෂණය ආකර්ෂණීය වුවද ගුවන්තොටුපළක් යනු විනෝද උද්‍යානයක් නොව අධි ආරක්ෂිත මෙහෙයුම් ප්‍රදේශයකි.

ඉස්තාන්බුල් ගුවන්තොටුපොළේ ගුවන් සේවා ලෝලීන් වෙනුවෙන් වෙන් කොට ඇති ප්‍රදේශය
ඉස්තාන්බුල් ගුවන්තොටුපොළේ ගුවන් සේවා ලෝලීන් වෙනුවෙන් වෙන් කොට ඇති ප්‍රදේශය

වැටවල් තරණය කිරීම, තහනම් ස්ථානවලට ඇතුළුවීම, ආරක්ෂක නිලධාරීන්ගේ උපදෙස් නොසලකා හැරීම හෝ ගොඩබැසීමේ මාර්ගයට ඉතා ආසන්න අනාරක්ෂිත ස්ථානයක සිටීම කිසිසේත් සුදුසු නොවේ. විශාල දිගු දුර ඡායාරූප කාච (Telephoto Lenses) හෝ දුරදක්න රැගෙන ආරක්ෂිත ස්ථාන ආසන්නයේ සිටින විට ආරක්ෂක නිලධාරීන් විමසීමක් කළහොත් සහයෝගයෙන් කටයුතු කිරීමද ගුවන් යානා නිරීක්ෂකයකුගේ වගකීමකි.

එසේම ජෙට් වායු පහර (Jet Blast) යනු සැහැල්ලුවෙන් ගත හැකි දෙයක් නොවේ. විශාල ජෙට් එන්ජිමක් මගින් නිපදවන අධිවේගී වායු ප්‍රවාහය මිනිසුන්ට හා වස්තූන්ට අනතුරුදායක විය හැකිය. අධික ශබ්දයට දිගු වේලාවක් නිරාවරණය වීමද ශ්‍රවණ සෞඛ්‍යයට අහිතකර බැවින් අධික ශබ්ද සහිත ස්ථානවල ශ්‍රවණ ආරක්ෂක උපකරණ (Hearing Protection) භාවිත කිරීම යෝග්‍යය.

RadarBox යෙදුම තුළ ගුවන් යානා පෙන්වන ආකාරය
RadarBox යෙදුම තුළ ගුවන් යානා පෙන්වන ආකාරය

මෙහි ශ්‍රී ලංකාවට සිතා බැලිය හැකි තවත් පැත්තක් ඇත. පක්ෂි නිරීක්ෂණය, තල්මසුන් නැරඹීම, දුම්රිය ඡායාරූපකරණය වැනි විශේෂ උනන්දුව මත පදනම් වූ සංචාරක ක්ෂේත්‍ර තිබේ නම් ගුවන් සේවා සංචාරක ක්ෂේත්‍රය (Aviation Tourism) ද වර්ධනය කළ හැකිය.

කටුනායක වැනි ප්‍රදේශයක ආරක්ෂිත සීමාවකට පිටතින් නිල නිරීක්ෂණ වේදිකාවක්, වාහන නැවැත්වීමේ ස්ථානයක්, මූලික පහසුකම්, ගුවන් ගමන් තොරතුරු පුවරු සහ ඡායාරූප ලබාගැනීමට සුදුසු ස්ථාන සකස් කළහොත් එය දේශීය තරුණයන්ට පමණක් නොව විදේශීය ගුවන් සේවා ලෝලීන්ටද ආකර්ෂණයක් විය හැකිය.

එමඟින් ගුවන් සේවා පිළිබඳ දරුවන්ගේ උනන්දුවද වර්ධනය කළ හැකිය. අද ධාවන පථය අසල සිට ගුවන් යානයක් දෙස විස්මයෙන් බලා සිටින දරුවකු හෙට ගුවන් නියමුවකු (Pilot), ගුවන් යානා ඉංජිනේරුවකු (Aircraft Engineer), ගුවන් ගමනාගමන පාලකයකු (Air Traffic Controller) හෝ ගගන හා අභ්‍යවකාශ ඉංජිනේරුවකු (Aerospace Engineer) විය හැකිය.

Flightradar24 යෙදුම තුළ ගුවන් යානා පෙන්වන ආකාරය
Flightradar24 යෙදුම තුළ ගුවන් යානා පෙන්වන ආකාරය

ගුවන් යානා නිරීක්ෂණයේ සැබෑ වටිනාකම ඇත්තේ එතැන විය හැකිය. එය යකඩ හා ඇලුමිනියම්වලින් නිමවූ යන්ත්‍රයක් දෙස බලා සිටීමක් පමණක් නොවේ. මිනිසාගේ නිර්මාණශීලීත්වය, ඉංජිනේරු දක්ෂතාව, සංචාරයට ඇති ආශාව හා අහස ජයගැනීමට ඇති සදාතනික සිහිනය එකම මොහොතක දැකගැනීමකි.

ඊළඟ වතාවේ ගුවන් යානයක් ඔබේ හිසට ඉහළින් පියාසර කරන විට එය දෙස මොහොතක් බලා සිටින්න. ඇතැම්විට ඔබ දකින්නේ හුදෙක් තවත් ගුවන් යානයක් නොවිය හැකිය. එය කිලෝමීටර් දහස් ගණනක් ඈතින් සිට පැමිණෙන මිනිසුන් සිය ගණනකගේ කතා, ලෝකයේ අතිසංකීර්ණ ඉංජිනේරු තාක්ෂණය සහ මිනිසා අහසට නැගීමට සිහින දුටු සියවස් ගණනක ඉතිහාසය රැගෙන යන “යකඩ කුරුල්ලෙකු” විය හැකිය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර