හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිංගප්පූරුවේ සිට ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගොස් සිටි ඇය යළි දිවයිනට පැමිණීමේදී ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනීමක් සිදුවී නොමැති අතර, ඒ අනුව ඉදිරි දිනවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක මූල්‍ය අපරාධ විමර්ශන අංශය (FCID) හමුවේ පෙනී සිටීම ඇතුළු නීතිමය කටයුතුවලට මුහුණදීමට ඇයට සිදුවනු ඇතැයි වාර්තා වේ.ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙරටට පැමිණීමේදී ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බව සඳහන් කරමින්, එවැනි තත්ත්වයක් ඇති වුවහොත් තමන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඇය වෙනුවෙන් නීතිඥ ජයබාලන් මහතා මඟින් ඊයේ (05) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක් ඉදිරිපත් කර තිබිණි. එම අයදුම්පත මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනනි පෙරේරා මහත්මිය ඉදිරියේ කැඳවා තිබිණි.එහි පෙත්සම්කාරිය ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මියත්, වගඋත්තරකරු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාත් නම් කර තිබූ බව සඳහන් වේ. විදෙස්ගතව වෛද්‍ය ප්‍රතිකාර ලබා යළි ශ්‍රී ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට ගනු ලැබුවහොත්, අධිකරණය සුදුසු යැයි සලකන ඕනෑම කොන්දේසියක් යටතේ තමන් ඇප මත මුදාහරින ලෙසද එමඟින් ඉල්ලා තිබේ.ශිරන්ති රාජපක්ෂ මහත්මිය සම්බන්ධයෙන් මෙම නීතිමය පියවර ගෙන ඇත්තේ ඇයගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ බව කියන සිරිලිය සවිය සංවිධානයේ මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් FCID විසින් සිදුකරන විමර්ශනයක් පසුබිම් කරගෙනය. එම විමර්ශනයට අදාළව ඇයගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට FCID මඟින් දැනුම් දී තිබූ බව වාර්තා වේ.ඇය සැප්තැම්බර් 16 වැනිදා අලුයම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබිණි. ඊට පෙර දිනයේදී අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබූ අතර, වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා ගිය බව ඇය වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ කරුණුවල සඳහන් වේ.ඇය සැප්තැම්බර් 24 වැනිදා FCID හමුවේ පෙනී සිටිය යුතු බවට දැනුම් දී තිබූ බව පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා වී තිබූ අතර, පසුව ඇයගේ විදේශගත වෛද්‍ය ප්‍රතිකාර හේතුවෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අමතර කාලයක් ඉල්ලා තිබූ බවද වාර්තා විය.ශිරන්ති රාජපක්ෂ මහත්මිය දිවයිනට පැමිණීමට පෙර දිනම අපේක්ෂිත ඇප අයදුම්පත ඉදිරිපත් කර තිබීම ද විශේෂත්වයකි. එහෙත් ඇය ඊයේ මධ්‍යම රාත්‍රියේ දිවයිනට පැමිණි අවස්ථාවේ ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගැනීමක් සිදු නොවූ බැවින්, එම ඇප අයදුම්පත සම්බන්ධයෙන් ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග කෙසේ සිදුවන්නේද යන්න ද අවධානයට ලක්ව තිබේ.