දෙවරක් විස එන්නත් කිරීමෙන් පසුවත් මරණ දඬුවමෙන් බේරුණු ක්‍රිස්ටා පයික්


මරණ දණ්ඩණයට යටත් කිරීමට ගිය වැරදිකාරියක  පුදුමාකාර ලෙස මරණයෙන් බේරීමේ සිද්ධියක් පසුගිය දිනවල මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනාගත්තේය. ඉතාම දුර්ළභ සිදුවීමක් වූ මෙය සිදු වූයේ ඇමරිකාවේ ටෙනෙසි ප්‍රාන්තයේ යි.

මේ ආකාරයෙන් විස්මය දනවන අයුරින්  මරණයෙන් බේරුණේ ක්‍රිස්ටා පයික් නැමැති 50 හැවිරිදි කාන්තාවකි. මිනීමැරුම් චෝදනාවක් මත  ක්‍රිස්ටාට අධිකරණය මරණ දඬුවම නියම කළේ 1996 මාර්තු මාසයේ යි. ඇයට එල්ල වූ චෝදනාව වූයේ ඇගේ පන්ති මිතුරියක වූ කොලීන් ස්ලෙමර් වධ දී මරා දැමීම යි.

මේ චෝදනාවට වැරදිකාරිය වූ ඇයට එරෙහිව  පසුගිය සැප්තැම්බර් 30 වැනි දින මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට නියමිත විය. ඒ විෂ එන්නත් කිරීමෙනි. එම දඬුවම ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණේ  ටෙනෙසි ප්‍රාන්තයේ පිහිටි රිවර්බෙන්ඩ් අධිආරක්ෂිත බන්ධනාගාරයේදී යි. ඒ එදින රාත්‍රි 7.30 ට පමණ ය.

මෙම බන්ධනාගාරයේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ පෙන්ටොබාර්බිටල් නැමැති රසායනිකය එන්නත් කිරීමෙනි.

කෙසේ හෝ වේවා, මෙම රසායනිකය එක් වරක් එන්නත් කිරීමෙන් පසු අපේක්ෂා කළ ආකාරයෙන් ක්‍රිස්ටා මරණයට පත් වූයේ නැත. ඒ වෙනුවට ඇය මහත් වේදනාවෙන් පසුවන බවක් දැකිය හැකි විය. එන්නත් කළ අත පිලිස්සෙන්නාක් වැනි වේදනාවක් දැනෙන බව ඇය පවසා තිබුණාය. ඒ අතර ඇය  කෑ ගසමින් හැඬූ බවක් ද ඇතැම් වාර්තාවල දැක් වේ.

ක්‍රිස්ටාගේ එම අත දම් පැහැයකට හැරෙමින් කෙමෙන් ඉදිමෙන ආකාරයක් යාබද නිරීක්ෂණ කුටියේ සිට බලා හුන් අයට දැකගන්නට ලැබී තිබිණි.

එක් එන්නතකින් ක්‍රිස්ටා මරණයට පත් නොවූ විට ඇයට දෙවැනි එන්නතක් ද ලබා දීමට පියවර ගෙන තිබිණි. නමුත් එම එන්නතින් ද ඇය වෙත මරණය ළඟා නොවීය. එසේ වුවත්  එම අවස්ථාවේ ඇය සිහි මූර්ඡා තත්වයට පත්ව තිබූ බැව් සඳහන් වේ.

සිහි මූර්ඡා වුව ද  ඇය ඇදුම රෝගියකු මෙන් අමාරුවෙන් හුස්ම අල්ලන්නට උත්සාහ ගන්නා ආකාරයත්, ඇගේ උගුරෙන් ගොරවන්නාක් වැනි හඬක් නැගෙන ආකාරයත් දැක ගන්නට ලැබී තිබිණි.

ක්‍රිස්ටා
ක්‍රිස්ටා

දෙවරක්ම එන්නත් කිරීමෙන් පසුවත් ක්‍රිස්ටා මරණයට පත් නොවූ තත්වය තුළ සහ ඇය දැඩි වේදනාවෙන් පසුවන ආකාරය නිරීක්ෂණය වීම තුළ කිසියම් වරදක් සිදු වී ඇති බව  බන්ධනාගාර නිලධාරීන්ට අවබෝධ විය. ඔවුන් එයින් කළබලයට පත් වූ බැව් ද දැකගන්නට ලැබුණු බව වාර්තා වේ.

එම අවස්ථාවේ ක්‍රිස්ටාගේ නීතිඥවරුන් ඉදිරිපත් වී තවදුරටත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම නතර කරගෙන තිබූ අතර පසුව ඇය රෝහල්ගත කිරීමට බන්ධනාගාර නිලධාරීහු පියවර ගත්හ.

විෂ ශරීරගත කළත් ක්‍රිස්ටා මරණයට පත් නොවූයේ මන්ද යන්න දැඩි කුතුහලයක් ජනිත කළ කාරණයක් විය. ඒ සම්බන්ධයෙන් පළ වූ වාර්තාවලින් පැවසුණේ එන්නත් කළ රසායනිකයන් නිසි ආකාරයෙන් ඇගේ නහරවලට ඇතුල් වන ආකාරයෙන් එන්නත් වී නැති බව යි. ඒවා ඇතුල් වී තිබුණේ නහරවලින් පිටත පටක ආදියට ය. ක්‍රිස්ටාට දැඩි වේදනාවක් දැනී තිබුණේත්, එන්නත් කළ අත දම් පැහැයට හැරී ඉදිමී තිබුණේත් ඒ නිසා ය. මෙම පටක රසායනික පිලිස්සුම් (Chemical Burns) වලට ලක් වී ඇති බව පසුව අනාවරණය විය.

විෂ එන්නත් කිරීමේදී යොදා ගන්නා ඇඳ
විෂ එන්නත් කිරීමේදී යොදා ගන්නා ඇඳ

ක්‍රිස්ටා රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණේ කෝමා තත්වයෙන් වූ අතර ඇය ජීවිතාධාරක යන්ත්‍රවලට සවි කරනු ලැබිණි.  ඇය මොළය මිය ගිය තත්වයට පත්ව ඇතැයි ද, නැවත පියවි තත්වයට පත් නොවනු ඇතැයි ද  යන සැකයක් වෛද්‍යවරුන් තුළත්, ඇගේ නීතිඥයන් තුළත් ඇති විය.  ඒ නිසා ඇය ජීවිතාධාරක යන්ත්‍රවලින් ඉවත් කිරීම සඳහා යම් සූදානමක් තිබූ බවක් ද සඳහන් වේ.

නමුත් දින කිහිපයකට පසු සියළු දෙනා පුදුමයට පත් කරමින් ක්‍රිස්ටාට නැවත සිහිය ලැබිණි. එපමණක් නොව ඇය කතා කරන්නටත් පටන් ගත්තාය. ඇවිදීමට පවා  ඇයට හැකි වී තිබිණ.

මෙය මරණ දඩුවම් ඉතිහාසයේ සුවිශේෂී  සිද්ධියක් විය. විෂ සම්පූර්ණයෙන් එන්නත් කිරීමෙන් පසු මරණයට පත් නොවී බේරුණු පළමු පුද්ගලයා ලෙස ක්‍රිස්ටා ඉතිහාසයට එක් වූවාය.

සිහිය ලබා කතාබස් කළත් ඇය සම්පූර්ණයෙන් කලින් සිටි තත්වයට තවමත් පත් වී නැත. ඇගේ මතක ශක්තිය, අවධානය යොමු කිරීමේ හැකියාව ආදිය තවමත්  සම්පූර්ණයෙන් යථා තත්වයට පත් වී නැති බව සඳහන් වේ. ක්‍රිස්ටාගේ මොළයට යම් හානියක් සිදු වී තිබේ ද යන්න සම්බන්ධයෙන් ද වෛද්‍යවරුන් තව දුරටත් සොයා බලමින් සිටින බව සඳහන් ය.

කොලීන් ස්ලෙමර්

කෙසේ හෝ වේවා, පසුගිය දා ක්‍රිස්ටා රෝහලේ සිට නැවත බන්ධනාගාරය වෙත මාරු කර තිබිණි. එසේ වුවත්  තවමත් ඇය පසු වන්නේ වෛද්‍යවරුන්ගේ දැඩි අධීක්ෂණය  යටතේ ය.

මේ වනවිට වඩාත් අවධානය යොමු වී ඇති කාරණයක් වන්නේ ඇයට නැවත මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට පියවර ගනීවි ද යන්න යි. එවැන්නක් සිදුවීම වැලැක්වීමට ඇගේ නීතීඥයන් සියලු උත්සාහයන්  ගනිමින් සිටින බව වාර්තා වේ. ක්‍රිස්ටා මේ වනවිටත් ඉතා වේදනාකාරී තත්වයක පසු වෙද්දී ඇයට නැවත මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට උත්සාහ කිරීම ඉතා කෲර සහ අසාමාන්‍ය කටයුත්තක් වනු ඇති බව නීතිඥයෝ පෙන්වා දෙති. ඔවුන් තර්ක කරන්නේ  ඇමරිකානු ව්‍යවස්ථාවේ අට වැනි සංශෝධනයට ද එය පටහැනි බව යි. මරණ දඬුවම වෙනුවට දැන් ඇයට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

කෙසේ හෝ වේවා, පසුගිය දා ක්‍රිස්ටාට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අසාර්ථක වීම හේතුවෙන් ටෙනෙසි ප්‍රාන්තයේ බන්ධනාගාර කොමසාරිස්වරයා වූ ෆ්‍රෑන්ක් ස්ට්‍රාඩාට  සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට පවා සිදු විය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර