වනජීවී ජීවිත සුරැකීමට තබ්බෝවේ දැවැන්ත ඒකාබද්ධ මෙහෙයුමක්

වන අලි ඇතුළු වනජීවීන්ගේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල කරන නීතිවිරෝධී උගුල් සහ ආයුධ ඉවත් කර ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින්, පුත්තලම තම්බෝව ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ඊයේ දින (14) විශේෂ ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදු වූ මෙම මෙහෙයුම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඒකාබද්ධව දායකත්වය ලබා දී ඇති බව සඳහන්.

වන අලින් ඇතුළු සතුන් අමානුෂික ලෙස හිංසා කිරීමට හා ඝාතනයට යොදා ගන්නා හක්කපටස්, මදු (කම්බි උගුල්), විදුලි රැහැන් සහ නීති විරෝධී ගිනි අවි සොයා ඉවත් කිරීම මෙම මෙහෙයුමේ මූලික අරමුණයි.වන අලි ජීවිතවලට මරු කැඳවන මෙවැනි නීතිවිරෝධී උපකරණ සහ ආයුධ මැඩපැවැත්වීම සඳහා වන වැටලීම් දිවයින පුරා තවදුරටත් පුළුල් කරන ලෙස පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් වනජීවී නිලධාරීන් වෙත මෙහිදී උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව තම්බෝව අභය භූමිය හා ඒ අවට වනගත කලාප ආවරණය වන පරිදි නිලධාරීන් විසින් සෝදිසි මෙහෙයුම් දියත් කර තිබේ.එක් කණ්ඩායමක් කුඩා වැව හා පන්සල් ගල ප්‍රදේශයටත්, තවත් කණ්ඩායමක් ගල්හත හා රබෑව ප්‍රදේශයටත්, අනෙක් කණ්ඩායම එරමුදු ගස්වැව හා කුඩා මැදවච්චිය ප්‍රදේශයටත් පිටත් කර තිබේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කුරුණෑගල හා පුත්තලම සහකාර අධ්‍යක්ෂ ප්‍රශාන්ත විමලදාස මහතාගේ මෙහෙයවීම යටතේ නිළධාරීන් රැසක් මෙම මෙහෙයුමටඑක්වී තිබේ.

කාලීන පුවත්