කාවන්තිස්ස ඇතාගේ මරණයට හේතුව අනාවරණය කර ගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.ඒ සඳහා අද (17) පෙරවරුවේ අධිකරණ නියෝගයක් ලබා ගැනීමට කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.අධිකරණ නියෝගය ලබා ගැනීමෙන් අනතුරුව පේරාදෙණිය විශ්වවිද්යාලයේ නිලධාරීන් ද ඇතුළත් විශේෂඥ කණ්ඩායමක් මගින් ඇතාගේ සිරුර පරීක්ෂා කර මරණයට හේතු වූ කරුණු අනාවරණය කර ගැනීමට නියමිතය. ඉදිරිපස දකුණු පාදයට වෙඩි වැදී තිබූ වෙඩි වැදීමක් බවට අනුමාන කෙරෙන කාවන්තිස්ස ඇතා ඊයේ (16) පස්වරුවේ මියගොස් තිබේ. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්ය කණ්ඩායම් ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා පැය 24 පුරා ප්රතිකාර ලබා දී තිබිණි.ප්රතිකාර හමුවේ පාදයේ තුවාලය සුව අතට හැරෙමින් තිබුණ ද, ආහාර ගැනීම අඩුවීම හේතුවෙන් ඇතාගේ තත්ත්වය යළිත් බරපතළ වී තිබූ බව වාර්තා වේ.මෙරට ජීවත් වූ විශාලතම හා උසින් වැඩිම වන අලියෙකු ලෙස ප්රකට කාවන්තිස්ස ඇතා සියඹලන්ගමුව වනජීවී කලාපයට අයත් ප්රදේශයක කුඹුරු යායක ඇදවැටී සිටියදී පසුගියදා සොයාගෙන තිබිණි.පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඇතාගේ මරණයට නිශ්චිත හේතුව පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.