ගුරු මව්පියවරුන්ගේ සුවසෙත වෙනුවෙන් ෆර්ගසන් ආදි ශිෂ්‍යාවන්ගෙන් උතුම් සත්කාර්යයක්


රත්නපුර ෆර්ගසන් විදු මෑණියන්ගේ ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව විසින් සංවිධානය කරනු ලබන ‘MediFer’ සෞඛ්‍ය සත්කාර වැඩසටහන, සිය ගුරු මව්පියවරුන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්ම වෙනුවෙන් ක්‍රියාත්මක වන උදාර සමාජ මෙහෙවරකි. 2026 ඔක්තෝබර් මස 11 වැනි දින රත්නපුර ෆර්ගසන් උසස් විද්‍යාලයීය පරිශ්‍රයේදී වෛද්‍ය දර්ශනී රත්නායක මහත්මියගේ සභාපතීත්වය යටතේ තෙවන වරට පැවැත්වුණු මෙවර වැඩසටහන, ගුරු මව්පියවරුන් කෙරෙහි ආදි ශිෂ්‍යාවන් දක්වන ආදරය, ගෞරවය සහ කෘතගුණ සැලකීම මැනවින් විදහා දැක්වීය.
වෛද්‍ය යමුනා බටංගල මහත්මියගේ සභාපතිත්වය යටතේ 2024 වසරේදී ආරම්භ කරන ලද MediFer වැඩසටහන, මේ වන විට අඛණ්ඩව ක්‍රියාත්මක වන අර්ථවත් සමාජ සත්කාර්යයක් බවට පත්ව තිබේ. තම ජීවිතයේ අගනා කාලයක් ෆර්ගසන් විදු මෑණියන් වෙනුවෙන් කැප කළ විශ්‍රාමික ගුරුවරුන් මෙන්ම වර්තමානයේ සේවය කරන ගුරුවරුන් ද සෞඛ්‍ය සම්පන්නව හා සතුටින් දිවි ගෙවීමට අවශ්‍ය සහාය ලබාදීම මෙහි මූලික අරමුණයි.

සභාපතිනි වෛද්‍ය දර්ශනී රත්නායක

පාසලේ ආදි ශිෂ්‍යාවන් වන නොවන විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන්, හෙද නිලධාරීන්, වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන් සහ අනෙකුත් සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය සිය වෘත්තීය දැනුම හා කාලය මෙම සද්කාර්යය වෙනුවෙන් නොමිලේ කැප කරති. එමෙන්ම, විශ්‍රාමික හා වර්තමාන ෆර්ගසන් ගුරු මව්පියවරුන්ගේ සහභාගිත්වය ද වැඩසටහනේ සාර්ථකත්වයට මහත් ශක්තියකි.

මහාචාර්ය ප්‍රියමාලී ජයසේකර
 මහාචාර්ය ප්‍රියමාලී ජයසේකර

මෙම සද්කාර්යයේ සාර්ථකත්වය වෙනුවෙන් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ (RDHS) සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ (PDHD) අධ්‍යක්ෂවරුන්ගේ සහ කාර්ය මණ්ඩලවල දායකත්වය විශේෂයෙන් අගය කළ යුතුය. ඔවුන්ගේ මඟපෙන්වීම, කැපවීම සහ නොමසුරු සහයෝගය මෙම වැඩසටහන වඩාත් විධිමත්ව හා ඵලදායීව ක්‍රියාත්මක කිරීමට ඉමහත් පිටුවහලක් වී ඇත.

මෙවර MediFer වැඩසටහන පැවැත්වීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙමින් ලබාදුන් සහයෝගය වෙනුවෙන් ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි මර්සි ගලගම මහත්මියටත්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්ටත් ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ හෘදයාංගම කෘතඥතාව පිරිනැමේ. පාසල් පරිශ්‍රය හා අවශ්‍ය පහසුකම් මෙම සද්කාර්යය වෙනුවෙන් ලබාදීමෙන් ඔවුන් දැක්වූ සහයෝගය වැඩසටහනේ සාර්ථකත්වයට මහත් දායකත්වයක් විය.

මෙවැනි උදාර කාර්යයක් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා මූල්‍යමය හා ද්‍රව්‍යමය දායකත්වය අත්‍යවශ්‍ය වේ. ඒ වෙනුවෙන් ෆර්ගසන් ආදි ශිෂ්‍යාවන් මෙන්ම හිතවත් පරිත්‍යාගශීලීන් ද තමන්ට හැකි අයුරින් දායක වෙමින් මෙම සද්කාර්යයට ශක්තියක් වී සිටිති. ඔවුන්ගේ පරිත්‍යාගශීලීත්වය සහ සමාජ වගකීම පිළිබඳ හැඟීම, මෙම වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට මහඟු ශක්තියකි.
මෙම වැඩසටහනේ මෙහෙයුම් කමිටුවේ ප්‍රධානත්වය මහාචාර්‍ය ප්‍රියමාලි ජයසේකර මහත්මිය විසින් දරනු ලබයි. ඇයගේ නායකත්වය යටතේ ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ නිලධාරීන්, සාමාජිකාවන්, සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සහ පරිත්‍යාගශීලීන්ගේ සාමූහික කැපවීමෙන් මෙම වැඩසටහන සාර්තකව ඉටුකොට ඇත.

MediFer යනු හුදෙක් වෛද්‍ය සායනයක් පමණක් නොවේ. එය දැනුමෙන්, ගුණයෙන් හා ජීවිතයට අවශ්‍ය මඟපෙන්වීමෙන් පරපුරක් ගොඩනැඟූ ගුරු මව්පියවරුන් වෙනුවෙන් ආදරය, ගෞරවය හා කෘතගුණ සැලකීම ප්‍රායෝගිකව ප්‍රකාශ කරන මානුෂීය මෙහෙවරකි. ෆර්ගසන් විදු මෑණියන්ගෙන් ලද අධ්‍යාපනයට හා ජීවිතයට ලැබුණු මඟපෙන්වීමට කෘතගුණ සැලකීමේ අරමුණින් ආදි ශිෂ්‍යාවන් මෙලෙස එක්වීම, ඔවුන්ගේ එකමුතුකම හා සමාජ වගකීම පිළිබඳ අගනා නිදසුනකි.
මෙම මෙහෙවර ඉදිරියටත් අඛණ්ඩව පවත්වාගෙන යමින් තවත් වැඩි පිරිසකට සෞඛ්‍ය සත්කාර ලබාදීමටත්, ගුරු මව්පියවරුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමටත් නිදුක් නීරෝගී වීමටත් හැකි වේවා යන්න MediFer වැඩසටහන සමඟ එක්ව සිටින සියලු දෙනාගේ අපේක්ෂාවයි.


පහන් ටැඹ