බොලිවුඩයේ සුපිරි නළුවෙකුට වෙඩි ප්‍රහාරයක්

කලෙකට පෙර බොලිවුඩ් සිනමාවේ ප්‍රකට නළුවකු වූ ජැකී ෂ්රෝෆ්ගේ පුත්‍රයකු වන ටයිගර් ෂ්රෝෆ් ද දැන් ජනප්‍රිය රංගන ශිල්පියෙකි. ඔහු පසුගිය දිනවල මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනාගෙන සිටි අතර ඒ සිනමාවට සම්බන්ධ කාරණයක් නිසා නම් නොවේ. වෙඩික්කරුවන් දෙදෙනෙකු ඔහු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් නිසා ය.

මුම්බායි නුවර ජූහු නැමැති ප්‍රදේශයේ දී මෙම සිද්ධිය සිදු වූයේ පසුගිය 18 වැනි ඉරිදා යි. පාපන්දු ක්‍රීඩකයකු ද වන ටයිගර් එදින ද පුහුණු වීමකට සහභාගි වී සිය බීඑම්ඩබ්ලිව් මෝටර් රථයෙන් ආපසු එමින් සිටියේය. එකවරම ඔහුගේ මෝටර් රිය වෙත පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙක් එහි ඉදිරිපස මගී ආසනය ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් එල්ල කළහ. ටයිගර් වාඩිගෙන සිටියේ එම ආසනයේ යි. වෙඩි පහර හතක් පමණ එල්ල කර ඇති බව විමර්ශණවල දී අනාවරණය වී තිබිණි.

වාසනාවකට මෙන් ටයිගර්ට බරපතල හානියක් කිරීමට වෙඩික්කාරයන්ට නොහැකි විය. ඔහුට සිදුව තිබුණේ වීදුරු කටු වැදීමෙන් වූ සුළු තුවාල කිහිපයක් පමණි. නමුත් යාබද ආසනයේ සිටි ඔහුගේ රියදුරාට වෙඩි පහරක් වැදී තිබිණි. ඒ ඔහුගේ අතකට ය. මාර්ගයේ සිටි කෙනෙකු ද තුවාල ලබා ඇති බවක් වාර්තා විය.

සල්මාන්
සල්මාන්

කෙසේ හෝ වේවා, වෙඩි තබමින් සිටිය දී වෙඩික්කරුවන්ගේ ගිනි අවියෙහි යම් කාර්මික දෝෂයක් ඇති වී තිබූ බවක් ද සඳහන් වේ. එම අවස්ථාවේ ඔවුන් මෝටර් සයිකලයක නැගී එම ස්ථානයෙන් පලා ගොස් තිබිණි. ගිනි අවියේ දෝෂය නොවන්නට මීට වඩා ලොකු විනාශයක් වන්නට වුවද ඉඩ තිබූ බව පෙනේ.

වෙඩික්කරුවන් පලා යාමෙන් පසු ටයිගර් ඔහුගේ තුවාල ගැන පවා නොසලකා රියදුරා රෝහලක් වෙත ගෙන යාමට පියවර ගෙන තිබූ බව සඳහන් ය. ටයිගර් ගත් මේ පියවර ඔහුගේ රසික රසිකාවියන් බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව තිබිණි.

ඉන්දියාවේ සිනමා තරු මේ ආකාරයෙන් කප්පම් කල්ලි ආදියෙහි ඉලක්ක බවට පත් වීම අලුත් දෙයක් නොවේ.

ටයිගර් ෂ්රෝෆ්
ටයිගර් ෂ්රෝෆ්

කෙසේ හෝ වේවා, වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු ඊට අදාල හඬ පටයක් නිකුත් වී තිබිණි. එය නිකුත් කරනු ලැබ තිබුණේ බිෂ්නෝයි කල්ලිය නමින් හැඳින්වෙන ඉතා ප්‍රසිද්ධ අපරාධ කල්ලියක සාමාජිකයකු යයි පැවසෙන පුද්ගලයෙකු විසිනි. මෙම කල්ලියේ නායකත්වය දරන්නේ ලෝරන්ස් බිෂ්නෝයි නැමැති පාතාල නායකයෙකි.

වෙඩි තැබීම සම්බන්ධයෙන් වගකීම භාර ගනිමින් ඉහත කී තැනැත්තා පවසා තිබුණේ ටයිගර් ෂ්රොෆ් සල්මාන් ඛාන් සමග පවත්වන සබඳතා මේ වෙඩි තැබීමට හේතු වූ බව යි.

සල්මාන් ඛාන් ටික කාලයක සිට ම බිෂ්නෝයි කල්ලියේ වෛරයට ලක්ව සිටින්නෙකි. ඔහු සමග සබඳතා නොපවත්වන ලෙස බිෂ්නෝයි කල්ලිය මීට පෙර ටයිගර්ට දැනුම් දී තිබූ බවත්, නමුත් ටයිගර් ඒ ගැන නොතකා කටයුතු කිරීම නිසා මෙම පියවර ගත් බවත් හඬ පටය නිකුත් කළ තැනැත්තා සඳහන් කර තිබූ බව පැවසේ.

මෙම හඬපටය ටයිගර් තුළ ලොකු විමතියක් ඇති කර තිබූ බව වාර්තා වේ. මන්ද යත් ඔහු සල්මාන් සමග ඔය කියන තරම් සමීප සම්බන්ධයක් නොපවත්වන බැවිනි.

මෙම සටහන ලියන අවස්ථාව වනවිට සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 10 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබූ අතර සුවිශේෂී කාරණා රැසක් අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් වී තිබිණි.

ටයිගර්ට එතරම් බරපතල තුවාල සිදුවී නොතිබිණි
ටයිගර්ට එතරම් බරපතල තුවාල සිදුවී නොතිබිණි

වෙඩික්කරුවන් මුලින් සැලසුම් කර තිබී ඇත්තේ සල්මාන් ඛාන් ඉලක්ක කිරීමට බවක් විමර්ශණවලදී හෙළි වී ඇතැයි වාර්තා වේ. ඔවුන් බන්ද්‍රා ප්‍රදේශයේ පිහිටි සල්මාන්ගේ නිවස අසළ බොහෝ වේලාවක් ගැවසී ඇතැයි ද පැවසේ. මේ වනවිට සල්මාන් පසුවන්නේ දැඩි ආරක්ෂාවක් යටතේ ය. ඔහුට එවැනි ආරක්ෂාවක් සපයා ඇත්තේ ද බිෂ්නෝයි කල්ලියෙන් එල්ල වී ඇති මරණ තර්ජන නිසාම ය.

ලෝරන්ස් බිෂ්නෝයි
ලෝරන්ස් බිෂ්නෝයි

සල්මාන්ට සපයා ඇති ආරක්ෂාව නිසා ඔහු වෙත ලං වීම අපහසු බව වැටහුණු පසු වෙඩික්කරුවන් ටයිගර් ෂ්රෝෆ් ඉලක්ක කිරීමට තීරණය කර ඇතැයි විමර්ශණවල දී අනාවරණය වී ඇති බවක් මාධ්‍ය වාර්තා කර තිබේ.

ලෝරන්ස් බිෂ්නෝයි ගේ කල්ලිය සල්මාන් සමග මේ ආකාරයෙන් වෛර බැඳගෙන සිටින්නේ මෙයට වසර 28 කට පමණ පෙර සිදු වූ සිද්ධියක් නිසා ය. 1998 වසරේ සල්මාන් රාජස්ථාන් ප්‍රාන්තයේ ජෝද්පූර් නැමැති ප්‍රදේශයේ රූපගත කිරීමක් සඳහා ගොස් සිටි අවස්ථාවක සතුන් දඩයමේ යමින් බ්ලැක්බක් නමින් හැඳින්වෙන සතුන් දෙදෙනෙකුට වෙඩි තැබූ බවට චෝදනා එල්ල විය. බ්ලැක්බක් යනු ගෝනුන්ගේ පෙනුමට සමාන පෙනුමක් ඇති සත්ව කොට්ඨාශයකි. මෙම සත්වයා බිෂ්නෝයි ප්‍රජාව පූජනීයත්වයෙන් සලකන සත්වයෙකු ද වේ.

ලෝරන්ස් බිෂ්නෝයි ද මෙම ප්‍රජාවට අයත් කෙනෙකි.

2018 වසරේ බිෂ්නෝයි කල්ලිය සල්මාන් ඉලක්ක කර පළමු වරට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර තිබිණි. නමුත් එම සැලසුම ක්‍රියාත්මක කිරීමට පෙර අදාල කල්ලි සාමාජිකයෝ පොලිස් අත් අඩංගුවට පත් වූහ.

2024 වසරේ සල්මාන්ගේ මුම්බායි නිවසට වෙඩි තැබීමේ සිද්ධියක් විශාල අවධානයක් දිනාගත්තේය. මෝටර් සයිකලයකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කරන ලද අතර එය සිදු වූයේ සල්මාන් සහ ඔහුගේ පවුලේ අය නිවස තුළ සිටියදී ය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර