සජිත් ගෙන් කාවන්තිස්සගේ ජීවමාන ප්‍රතිමාවක් සහ පර්යේෂණ මධ්‍යස්ථානයක්

 

කාවන්තිස්ස නමින් හඳුන්වනු ලැබූ, ශ්‍රී ලංකාවේ උසම සහ විශාලතම වන ඇතා ලෙස සැලකූ ගල්ගමුවේ මහ ඇතා වෙනුවෙන් ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් නිර්මාණය කිරීමේ වැඩසටහනක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ආරම්භ කර ඇත.මෙම යෝජනාව  අද (01)  දින කොළඹදී ප්‍රකාශයට පත් කර ඇත.කාවන්තිස්ස හෙවත් ගල්ගමුවේ මහ ඇතා 2026 වසරේ දී සියඹලංමුව වැව් රක්ෂිතයේ දී ඛේදනීය අකල් මරණයකට ලක් විය.2026 සැප්තැම්බර් 20 වන දින ඔහුගේ දකුණු ඉදිරි පාදයේ වෙඩි තුවාලයක් සහිතව සොයාගෙන ඇති අතර, දින 4කට පසු වනජීවී පශු වෛද්‍ය කණ්ඩායමක් ප්‍රතිකාර සඳහා ගල්ගමුවට පිටත් කර හරවා ඇත. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැප්තැම්බර් 24 සිට ප්‍රතිකාර ආරම්භ කර තිබුණි. අවසානයේ ඔක්තෝබර් 16 වන දින සියඹලංගමුවේ කුඹුරකදී ඇද වැටී සිටියදී ඔහු මියගිය බව වාර්තා වේ. ඔහු ශ්‍රී ලංකාවේ උස අඩි 11.2 (මීටර් 3.4) ක් සහ බර කි.ග්‍රෑ. 5400ක් පමණ වූ, දළ දිග මීටර් 2.5ක් පැවති දැවැන්තයෙකි. කාවන්තිස්ස ගල්ගමුව, මීගලෑව, සියඹලංගමුව සහ කහල්ල-පල්ලෙකැලේ රක්ෂිත පරාසයේ සැරිසැරූ අතර, ශ්‍රී ලංකාවේ උසම වන දළ ඇතා ලෙස සැලකිණි.යෝජිත ස්මාරකය අඹන්පොළ, කහඹිලියාවැටියාවත්ත ප්‍රදේශයේ පිහිටි අභාවප්‍රාප්ත ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ වතු පරිශ්‍රයේ ස්ථාපිත කිරීමට නියමිතය.මෙම ස්ථානය A28 පාදෙණිය – අනුරාධපුර ප්‍රධාන මාර්ගය අද්දර පිහිටා ඇති අතර, කාවන්තිස්ස නායකත්වය හෙබවූ කහල්ල-පල්ලෙකැලේ අලි ඇත් රංචුව නිතර ගැවසෙන ප්‍රදේශයට ඉතා ආසන්නව පිහිටීම විශේෂත්වයකි.වෙන් කරන ලද මෙම භූමි භාගය අදාළ ප්‍රතිමාවෙන් සහ පර්යේෂණ / පුස්තකාල පරිශ්‍රයකින් සමන්විත වන අතර, එමගින් පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම, අලි-මිනිස් ගැටුම අවම කරමින් සමනය කිරීමේ පියවරයන් සඳහා මධ්‍යස්ථානයක් පිහිටුවීම සහ වත්මන් හා අනාගත ශ්‍රී ලාංකික පරම්පරාවල යහපත උදෙසා ඇත් සහ අලි රංචු සංරක්ෂණය කිරීම ප්‍රවර්ධනය කරනු ඇත.යෝජනාවට අනුව එහි අලි හැසිරීම් අධ්‍යයනය, මිනිස්-අලි ගැටුමට විසඳුම් සෙවීම සහ වන අලි ආරක්ෂාව පිළිබඳ කටයුතු සඳහා කැප වූ පර්යේෂණ මධ්‍යස්ථානයක් සහ පුස්තකාලයක් ද ඇතුළත් වේ.මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ විපක්ෂ නායක සහ ශ්‍රී ලංකා දේශගුණය පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සම සභාපති සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ‘කාවන්තිස්ස හස්ති ආරක්ෂක කාර්ය සාධක බලකාය’ (Kawantissa Tusker Protection Task Force) මගිනි.කාවන්තිස්සට ආදරය කරන සියලු දෙනාට මෙම උතුම් සත්කාරය සඳහා එක්වන ලෙස විපක්ෂ නායකවරයා ෆේස්බුක් සටහනක් මගින් ආරාධනා කර සිටියි.                                                                                                                                                                                                                        මීට කලකට ඉහත ඛේදනීය අකල් මරණ වලට ලක් වූ සියඹලංගමුවේ ඇතා සහ දළ පූට්ටුවා යන ඇත් රජවරුන්ගේ සජීවී රූපකායන් සහිත ඇත් පිළිරුව හෙවත් ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය මීට පෙර ස්ථාපිත කර තිබේ.එය අඹන්පොළ, කහඹිලියාවැටියාවත්ත ප්‍රදේශයේ සිට කිලෝ මීටර් දහ නවයක් එපිටින්, පාදෙණිය අනුරාධපුර ප්‍රධාන මාර්ගය අද්දර පිහිටි ගල්ගමුවේ පූලංචිය වැවට මායිම්ව පිහිටි ගිමන්හල පාරිසරික උද්‍යානයේ මෙම ස්මාරකය “අහිංසා ශ්‍රී ලංකා” සත්ව හිමිකම් සංවිධානය මගින් ඉදි කරන ලද අතර, එහි ව්‍යාපෘති හා මෙහෙයුම් අධ්‍යක්ෂ, ලංකා කායික වෛද්‍යවරුන්ගේ ආයතනයේ (Ceylon College of Physicians) සභාපති හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ මහතාගේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිවී තිබේ.

කාලීන පුවත්