
ආදරයට වයස් පරතරයක් තිබේ ද? යන්න කලක පටන් සමාජයේ විවිධ සංවාදවලට තුඩු දෙන ප්රශ්නයකි. ඊට හේතුව සාම්ප්‍රදායිකව පිරිමියා කාන්තාවට වඩා වයසින් වැඩි වීම ප්‍රේම සම්බන්ධතා හා විවාහ සම්බන්ධයෙන් සාමාන්‍ය සමාජ රටාවක් ලෙස පිළිගෙන තිබීම ය. එහෙත් අද වන විට තමන්ට වඩා වයසින් වැඩි කාන්තාවන් කෙරෙහි ප්‍රේමනීය හෝ ලිංගික ආකර්ෂණයක් දක්වන තරුණයන් ද සමාජය තුළ හඳුනාගත හැකි ය. ඇතැම් විට මෙවැනි සම්බන්ධතා සමාජ ජාල ඔස්සේ ප්‍රසිද්ධියට පත්වන විට ඒවා කුතුහලයට, විවේචනයට මෙන්ම විහිළුවට ද ලක් වේ.
එහෙත් මෙය හුදෙක් ලිංගික කුතුහලයක් හෝ අසාමාන්‍ය ආශාවක් ලෙස බැහැර කළ හැකිද? එසේත් නැතිනම් මෙවැනි ආකර්ෂණයක් පිටුපස පුද්ගල මානසිකත්වය, ළමා වියේ අත්දැකීම්, සමාජ පරිසරය සහ ආදර සම්බන්ධතා පිළිබඳ වෙනස් වූ අපේක්ෂා පවතින්නේ ද? මේ පිළිබඳව සමාජ හා මනෝවිද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් විමසා බැලීම වැදගත්ය.
අපගේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය අවදියේ දී ඉහළ අධ්‍යයන වසරවල සිසුන් ඊට පහළ අධ්‍යයන වසරවල සිසුවියන් සමඟ ප්‍රේම සම්බන්ධතා පැවැත්වීම සුලබ වුවත්, පහළ අධ්‍යාපන වසරවල සිසුන් ඊට ඉහළ වසරවල සිසුවියන් සමඟ එවන් සම්බන්ධතා පැවැත්වීම ඉතා විරල විය. ඊට හේතුව ඒ දෙදෙනා අතර ඇති වයස් පරතරය අනුව එය එවක ශිෂ්‍ය ප්‍රජාවේ උපහාසයට හේතු වීම ය. නමුත් මේ වන විට එම තත්ත්වය මුළුමනින්ම වෙනස් වී තිබේ.
කාන්තාව පිරිමියාට වඩා වයසින් වැඩි වන ප්‍රේම සම්බන්ධතාවක් හෝ විවාහයක් සමාජ විද්‍යාවේදී වයස් අධෝවිවාහය (Hypogamy ) ලෙස හඳුන්වනු ලැබේ. මෙය පිරිමියා කාන්තාවට වඩා වයසින් වැඩි වීමේ සාම්ප්‍රදායික සම්බන්ධතා ආකෘතියට වෙනස් වූවකි.
කෙසේ වෙතත්, මෙය නූතන සමාජයේ පමණක් ඇති වූ සම්බන්ධතා රටාවක් නොවේ. විවිධ සමාජ හා සංස්කෘතීන් තුළ ඉතිහාසය පුරාම කාන්තාව පිරිමියාට වඩා වයසින් වැඩි වූ සම්බන්ධතා දක්නට ලැබී තිබේ. එහෙත් කාන්තාව වයසින් වැඩි වන විට සමාජය ඒ සම්බන්ධතාව දෙස බලන ආකාරය, පිරිමියා වයසින් වැඩි වන සම්බන්ධතාවකට දක්වන ප්‍රතිචාරයට වඩා වෙනස් විය හැකි ය.
මෙහිදී මතු වන ප්‍රධාන කරුණක් තිබේ.එය සමාජය විසින් පිරිමියාට හා කාන්තාවට පවරා ඇති සාම්ප්‍රදායික භූමිකාවන් පදනම් වන්නකි. පිරිමියා ආරක්ෂාව සපයන්නා, ආර්ථික වශයෙන් ශක්තිමත් තැනැත්තා සහ තීරණ ගන්නා පුද්ගලයා විය යුතුය යන සමාජ අපේක්ෂාවන් තවමත් විවිධ මට්ටමින් ක්‍රියාත්මක වේ. එවැනි පසුබිමක කාන්තාව වයසින් වැඩි වූ සම්බන්ධතාවක් ඇතැම් පුද්ගලයන්ට සාම්ප්‍රදායික නොවන දෙයක් ලෙස පෙනීම පුදුමයට කරුණක් නොවේ.
මේ වන විට වැඩිහිටි කාන්තාවන් කෙරෙහි ඇතැම් තරුණයන් ආකර්ෂණය වීමට හේතුව ලිංගිකත්වයම පමණක් යැයි නිගමනය කිරීම ද සාධාරණ නොවේ. ඇතැම් තරුණයන් එවැනි කාන්තාවන් තුළ දකින මානසික පරිණතභාවය, ජීවිත අත්දැකීම්, ස්වාධීනත්වය සහ සන්නිවේදන හැකියාව ඔවුන්ගේ ආකර්ෂණයට හේතු විය හැකි ය.

විශේෂයෙන්ම තමන්ගේ හැඟීම් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇති, අවශ්‍යතා විවෘතව ප්‍රකාශ කරන, තීරණ ගැනීමේදී ස්ථාවරත්වයක් පෙන්වන කාන්තාවක් සමඟ සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීම ඇතැම් තරුණයන්ට වඩාත් පහසු හා සුවපහසු අත්දැකීමක් විය හැකි ය. තමන්ගේ වයසේ තරුණියන් සමඟ සම්බන්ධතා පවත්වාගෙන යාමේදී ඇතැම් තරුණයන් අත්විඳින අනවබෝධය, අනාරක්ෂිතභාවය හා නිරන්තර ගැටුම්වලට වඩා වැඩිහිටි කාන්තාවක සමඟ ඇති සම්බන්ධතාවකදී මානසික සන්සුන්භාවයක් දැනෙන බව ඔවුන් සිතන්නට පුළුවන.මෙය ඔවුන් ගේ මනෝභාවයන් මත පදනම් වන්නකි.
මෙහිදී ඔවුන් ආකර්ෂණය වන්නේ වයසටම නොව, ඇතැම් විට වයසත් සමඟ වර්ධනය වී ඇතැයි ඔවුන් අපේක්ෂා කරන කාන්තාවන් තුළ පවත්නා පරිනත පෞරුෂ ලක්ෂණවලට ය. එහෙත් සෑම වැඩිහිටි කාන්තාවක්ම පරිණත හෝ සෑම තරුණියක්ම මානසික වශයෙන් අපරිනත යැයි මෙයින් අදහස් නොවේ. පරිණතභාවය වයසට පමණක් සීමා වූ ලක්ෂණයක් ද නොවේ.ඒ අනුව මෙය දළ අනුමානයක් පමණි.
මෙවැනි සම්බන්ධතා පිළිබඳ සාකච්ඡා කිරීමේදී මනෝවිද්‍යාවේ ඇමිණුම් න්‍යාය (Attachment theory ) ද උපයෝගී කර ගත හැකිය. මෙම න්‍යාය අනුව ළමා වියේදී දෙමාපියන් හා ප්‍රධාන රැකවරණ සපයන්නවුන් සමඟ ගොඩනැඟෙන සම්බන්ධතා පුද්ගලයාගේ පසුකාලීන සම්බන්ධතා රටාවන්ට බලපෑ හැකි ය. ළමා වියේදී අත්විඳින ආරක්ෂාව, ආදරය, පිළිගැනීම හා මානසික සමීපතාව පිළිබඳ අත්දැකීම් වැඩිහිටි වියේදී සහකරු හෝ සහකාරිය තෝරා ගැනීමේදී ද යම් බලපෑමක් ඇති කළ හැකි බව ඉන් අනුමාන කෙරේ.
ඒ අනුව ඇතැම් තරුණයන් වැඩිහිටි කාන්තාවක තුළින් තමන් අපේක්ෂා කරන ආරක්ෂාව, අවධානය හා මානසික සමීපතාව සොයනවා විය හැකි ය. එහෙත් මෙය සෑම අවස්ථාවකදීම මවකගේ සෙනෙහස අහිමි වීමක් හෝ ළමා වියේ මානසික බිඳවැටීමක් නිසා ඇති වන තත්ත්වයක් නොවේ. ඒ නිසා වැඩිහිටි කාන්තාවන් කෙරෙහි ආකර්ෂණය වන සෑම තරුණයෙකුගේම මානසික පසුබිම මවක හා සම්බන්ධ අත්දැකීමකට සම්බන්ධ කර දැක්වීම විද්‍යාත්මකව නිවැරදි නොවේ. පුද්ගල ආකර්ෂණය සහ සහකරු තෝරා ගැනීම බොහෝ සාධක එකට ක්‍රියාත්මක වන සංකීර්ණ ක්‍රියාවලියකි.
මෙවැනි සම්බන්ධතා විමසා බැලීමේදී ලිංගික ආකර්ෂණය සම්පූර්ණයෙන්ම බැහැර කළ නොහැකි ය. ඇතැම් තරුණයන් වැඩිහිටි කාන්තාවන්ගේ ශාරීරික පෙනුම, පෞරුෂය, ලිංගික පරිණතභාවය හෝ ඔවුන් සතු යැයි අපේක්ෂා කරන ලිංගික අත්දැකීම් කෙරෙහි ආකර්ෂණය විය හැකිය. එහෙත් ලිංගික ආකර්ෂණය සහ ප්‍රේමනීය බැඳීම යනු එකි ‘නෙකට සම්බන්ධ විය හැකි නමුත් සම්පූර්ණයෙන්ම එකම දෙයක් නොවේ.
ඇතැම් සම්බන්ධතා තාවකාලික සංතෘප්තිය ලිංගික ආශාව මත පදනම් විය හැකි අතර තවත් සමහරක් තුළ ආදරය, මිත්‍රත්වය, මානසික සමීපතාව, අන්‍යෝන්‍ය ගෞරවය සහ ජීවිතය බෙදා ගැනීමේ කැමැත්ත ප්‍රධාන තැනක් ගනී. එබැවින් වැඩිහිටි කාන්තාවක සමඟ සම්බන්ධතාවක් ඇති කරගන්නා තරුණයෙකුගේ අරමුණ ලිංගිකත්වය පමණක් යැයි පූර්ව නිගමනයකට එළඹීම සුදුසු නොවේ.
අද සමාජ ජාල තුළ වැඩිහිටි කාන්තාවන් හා තරුණ පිරිමින් අතර සම්බන්ධතා පිළිබඳ විවිධ කතාබහ දක්නට ලැබේ. ඇතැම් සම්බන්ධතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කෙරෙන අතර තවත් සමහරක් සමාජ විවේචන හා විහිළුවලට ද ලක් වේ. අතීතයේදී සමාජ සම්මතයන් හා පවුල් පසුබිම් නිසා ප්‍රසිද්ධියේ කතා නොකළ සම්බන්ධතා අද ඩිජිටල් මාධ්‍ය වේදිකාවන් මත දී විවෘතව සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබී තිබේ. චිත්‍රපට, ටෙලිනාට්‍ය හා සමාජ මාධ්‍ය අන්තර්ගතයන් ද මෙවැනි සම්බන්ධතා පිළිබඳ සමාජ අවධානය වැඩි කිරීමට බලපායි.

එහෙත් මෙහිදී වැදගත් වෙනසක් හඳුනාගත යුතු ය. සමාජ ජාල තුළ යම් සම්බන්ධතාවක් නිතර දක්නට ලැබීමෙන් එය සැබෑ සමාජය තුළ බහුල වී ඇතැයි නිගමනය කළ නොහැකි ය. ඇතැම් විට වැඩි වී ඇත්තේ එවැනි සම්බන්ධතා පිළිබඳ විවෘතව කතා කිරීමේ හැකියාව සහ ඒවා සමාජයට දෘශ්‍යමාන වීම පමණක් විය හැකිය.එවැනි කරුණක් සනාථ කිරීමට නම් ඒ සම්බන්ධ සංඛ්‍යාත්මක දත්ත ඉදිරිපත් කළ යුතුය.නමුත් එය ප්‍රායෝගිකව කළ නොහැක්කකි.
වයසින් වැඩි පිරිමියෙකු හා තරුණ කාන්තාවක අතර සම්බන්ධතාවක් ඇති වූ විට එය බොහෝ සමාජවල සාමාන්‍ය දෙයක් ලෙස පිළිගැනීමට නැඹුරුවක් තිබේ. එහෙත් වයසින් වැඩි කාන්තාවක හා තරුණ පිරිමියෙකු අතර සම්බන්ධතාවක් ඇති වූ විට එය විශේෂයෙන් විමසා බැලීමට, විවේචනය කිරීමට හෝ විහිළුවට ලක් කිරීමට ඇතැම් පිරිස් පෙළඹෙති. මෙය සමාජයේ ස්ත්‍රී පුරුෂ භූමිකා පිළිබඳ පවත්නා දෙබිඩි ප්රමිතීන් පිළිබඳව ද ප්‍රශ්න මතු කරයි.
පිරිමියෙකුට වඩා වයසින් වැඩි කාන්තාවක් ආදරය කිරීම හෝ ලිංගික ආකර්ෂණය දැක්වීම සමාජයේ ඇතැම් පිරිස් විසින් අසාමාන්‍ය දෙයක් ලෙස සැලකීම තුළ කාන්තාවගේ වයස, පෙනුම හා සමාජ භූමිකාව පිළිබඳ පටු ආකල්ප ද ක්‍රියාත්මක විය හැකිය. ඇතැම් විට තරුණයා වැඩිහිටි කාන්තාවගේ ධනය, දේපළ හෝ සමාජ තත්ත්වය ප්‍රයෝජනයට ගන්නා බවටත්, කාන්තාව තරුණයාගේ ලිංගික ආශාවන් ප්‍රයෝජනයට ගන්නා බවටත් චෝදනා එල්ල වේ. එවැනි සිදුවීම් කිසිසේත්ම සිදු නොවන බව කිව නොහැකි නමුත් ඒවා සියලු සම්බන්ධතා සඳහා පොදු නිර්වචන බවට පත් කිරීම ද අසාධාරණ ය.
ඇත්තෙන්ම වැඩිහිටි කාන්තාවක හා තරුණ පිරිමියා අතර ඇති සම්බන්ධතාවක සාර්ථකත්වය තීරණය විය යුත්තේ ඔවුන්ගේ වයස් පරතරය මත පමණක් නොවේ. දෙදෙනාගේ මානසික පරිණතභාවය, අන්‍යෝන්‍ය ගෞරවය, ජීවන අරමුණු, වගකීම් භාර ගැනීමේ හැකියාව සහ එකිනෙකාගේ පෞද්ගලික නිදහසට ගරු කිරීම ඒ සඳහා වඩාත් වැදගත් වේ.
එමෙන්ම වයස් පරතරය වැඩි වන විට ජීවිතයේ විවිධ අවධිවල පවතින අපේක්ෂා අතර වෙනස්කම් ඇති විය හැකි ය. දරුවන් ලැබීම පිළිබඳ තීරණ, වෘත්තීය ජීවිතය, ආර්ථික වගකීම්, පවුල් සබඳතා සහ අනාගත සැලසුම් වැනි කරුණු සම්බන්ධයෙන් දෙදෙනාගේ අදහස් වෙනස් විය හැකි ය. එබැවින් එවැනි සම්බන්ධතාවක් සාර්ථක කර ගැනීමට විවෘත සන්නිවේදනය හා අන්‍යෝන්‍ය අවබෝධය අත්‍යවශ්‍ය වේ.
විශේෂයෙන්ම බලහත්කාරය, මානසික පීඩනය, ආර්ථික හෝ ලිංගික සූරාකෑම සහ අසමාන බල සම්බන්ධතා පවතින්නේ නම් එය ගැටලුකාරී සම්බන්ධතාවක් බවට පත්විය හැකිය. මෙවැනි අවදානම් තක්සේරු කිරීමේදී වයසට වඩා වැදගත් වන්නේ දෙදෙනා අතර පවතින බල සම්බන්ධතාව හා එකිනෙකාගේ කැමැත්තට ගරු කරන ආකාරයයි.
වැඩිහිටි කාන්තාවන් කෙරෙහි තරුණයන් තුළ ඇති වන ආකර්ෂණය යනු එක් හේතුවකින් පැහැදිලි කළ හැකි සරල මානසික ක්‍රියාවලියක් නොවේ. එය ලිංගික ආකර්ෂණය, මානසික සුරක්ෂිතභාවය, පෞරුෂ ලක්ෂණ, ජීවිත අත්දැකීම්, ළමා වියේ සම්බන්ධතාමය අත්දැකීම් සහ සමාජ සංස්කෘතික බලපෑම් ඇතුළු විවිධ සාධකවල එකතුවක් විය හැකිය.
ලෝක ප්‍රකට ෆිගාරෝගේ විවාහය The Marriage of Figaro (ෆිගාරෝ ගේ විවාහය) නාටකයේ Cherubino (චෙරුබිනෝ) නම් යොවුන් තරුණයා ඔහු ප්‍රේම කරන ස්වාමිදුව වන Countess Rosina Almaviva – (කවුන්ටෙස්ට් රොසිනා අල්මාවීවා) කෙරෙහි දක්වන අසීමාන්තික ඇල්ම ඒ සම්බන්ධ වෙනම පැතිකඩකි.සම්මානනීය නාට්‍ය කරු දයානන්ද ගුණවර්ධන සූරීන් ගේ බක් මහ අකුණු නාටකය (1963)ටත් බක් මහ දීගේ චිත්‍රපටය (1969)ටත් පසුබිම් වූයේ ද ෆිගාරෝ ගේ විවාහය නාටකයයි.එමෙන්ම පන්සිය පනස් ජාතක පොතේ එන යොවුන් තවුසා සිය ග්‍රහණයට ගැනීමට වෙර දරන නගර ශෝභිනිය ආදී චරිත මෙම සබැඳියාවන්ගේ විවිධ පැතිකඩවලින් විග්රහ කොට තිබේ.
එබැවින් එවැනි ආකර්ෂණයක් දක්වන තරුණයන් මානසික අසාමාන්‍යතාවකින් පෙළෙන්නන් ලෙස හඳුන්වා දීම හෝ ඔවුන්ගේ සම්බන්ධතා හුදෙක් ලිංගික අවශ්‍යතාවකට ලඝු කිරීම විද්‍යාත්මක පදනමක් නැති ප්රවේශයකි. ආදරය, ලිංගිකත්වය හා මානසික සමීපතාව යනු මිනිස් ජීවිතයේ සංකීර්ණ අත්දැකීම්ය. ඒවා වයස් පරතරය පමණක් මත තීරණය කළ නොහැකිය. එසේම සමාජය පිළිගන්නා සාම්ප්‍රදායිਕ සම්බන්ධතා ආකෘතියෙන් බැහැර වූ පමණින් යම් සම්බන්ධතාවක් වැරදි හෝ අසාමාන්‍ය එකක් බවට පත් නොවේ.
අවසානයේ අප විමසා බැලිය යුත්තේ කාන්තාව පිරිමියාට වඩා වයසින් වැඩි වීම ගැටලුවක්ද, නැතිනම් සැබෑ ගැටලුව වන්නේ සම්බන්ධතාවක් දෙස අප බලන සමාජ සංස්කෘතික ආකල්පයද යන්න ය. නමුත් මෙහිදී මිනිසා යනු සමාජ සත්වයකු බවත් එම තත්ත්වය අතික්‍රමණය කිරීම කෙතරම් ප්‍රායෝගික ද යන්නත් විමසා බැලිය යුතු ය. මෙහි සැබෑ සමාජ විද්‍යාත්මක කුතුහලය ඇත්තේ එම ප්රශ්නය තුළය.
ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය