මැද පෙරදිග යුද්ධයේ නියමුවකු වන ඊශ්‍රායල අගමැති නෙතන්යාහුට බලය අහිමි වෙයි ද?


පසුගිය 27 වැනි දින පැවැති ඊශ්‍රායල පාර්ලිමේන්තු මැතිවරණය ජාත්‍යන්තර දේශපාලන ක්ෂේත්‍රයේ විශාල අවධානයක් දිනාගත් සිදුවීමක් විය. මෙම මැතිවරණයේ ප්‍රතිඵලය මේ වනවිට ඉදිරියට යමින් ඇති මැද පෙරදිග යුද්ධයට කවරාකාර බලපෑමක් එල්ල කරනු ඇත් ද යන කුතුහලයක් ද බොහෝ පාර්ශ්ව තුළ පැවතිණි. එමෙන්ම මේ මැතිවරණය එරට අගමැති මෙන්ම  මැද පෙරදිග යුද්ධයේ ප්‍රධාන චරිතයක් ද වන බෙන්ජමින් නෙතන්යාහුගේත්, ඔහුගේ ලිකුද් පක්ෂයේත් අනාගතයට කවරාකාරයෙන් බලපානු ඇත් ද යන්න ද බොහෝ දෙනා අවධානයෙන් සිටි කාරණයක් විය.

මෙවර ඊශ්‍රායල මැතිවරණයට තරග කළ ප්‍රධාන පිල්  දෙකක් විය. එකක් නම් නෙතන්යාහු ගේ ලිකුද් පක්ෂයට සහය දක්වන පක්ෂවලින් සැදි පිල යි. මෙයට අයත් වන්නේ දක්ෂිණාංශික පක්ෂ ය. අනෙක් පිල නෙතන්යාහුට විරුද්ධ, ඔහුව බලයෙන් පහ කිරීම සඳහා සටන් කළ   පක්ෂවලින් සැදුම් ලත් කණ්ඩායම යි. මෙහි ප්‍රධාන පක්ෂය වන්නේ ගැඩි  අයිසන්කොට් ගේ නායකත්වයෙන් යුත් යාෂර් පක්ෂය යි. හිටපු හමුදා ප්‍රධානියකු වන අයිසන්කොට්ගේ ප්‍රධානත්වයෙන් මෙම පක්ෂය පිහිටුවන ලද්දේ පසුගිය වසරේ යි. අලුත්ම පක්ෂයක් වන යාෂර් පක්ෂය මුහුණ දුන් පළමු මැතිවරණය මෙය යි.

ක්නෙසෙට් (Knesset) යන නමින් හැඳින්වෙන ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ ආසන 120 කි. ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පක්ෂයක් හෝ කණ්ඩායමක් ආසන 61 ක් ලබා ගත යුතු වේ. නමුත් මෙවර මැතිවරණයේ දී මෙම බහුතරය ලබා ගැනීමට නෙතන්යාහු පිලට හෝ අයිසන්කොට් පිලට හැකි වූයේ නැත. නෙතන්යාහු පිලේ පක්ෂ  දිනාගෙන ඇත්තේ ආසන 53 ක් පමණි. අයිසන්කොට් පිලේ පක්ෂ දිනාගෙන ඇති ආසන ගණන  48 කි. මේ අනුව මේ පාර්ශ්ව දෙකටම ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාවක් නැති අතර විශාල දේශපාලන අස්ථාවරත්වයක් ගොඩ නැගී තිබේ.

නෙතන්යාහු

මැතිවරණයේ දී නෙතන්යාහු ගේ ලිකුද් පක්ෂය පැහැදිලි  පසුබෑමකට ලක්ව තිබීම කැපී පෙනෙන්නකි. එම පක්ෂය පසුගිය මැතිවරණයේ දී ආසන 36 ක් දිනාගත්තේය. මෙවර ඔවුන්ට දිනාගත හැකි වූයේ ආසන 27 ක් පමණි. එම පක්ෂය නායකත්වය දෙන පිල කලින් ආසන 68 ක් හිමි කරගෙන සිටියත් මෙවර ආසන 53 ක් දක්වා පල්ලම් බැස ඇත.

නෙතන්යාහු ගේ සහ ලිකුද් පක්ෂයේ මේ පසුබෑම පිටුපස යුද්ධයට අදාල කාරණා කිහිපයක්ම තිබේ. යුද්ධය රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර ජීවන වියදම ඉහළ යාම වැනි කාරණා නිසා ජනතාව ජීවත් වන්නේ දැඩි ආර්ථික පීඩනයකිනි. එමෙන්ම නෙතන්යාහු රජය යුද්ධය අවසන් කිරීම පිලිබඳ නිසි සැලැස්මකින් තොරව එය ඇදගෙන යමින් සිට්න බවට ද චෝදනා එල්ල වෙයි.

2023  වසරේ පලස්තීනයේ  හමාස් සංවිධානයේ සටන්කාමීහු ඊශ්‍රායාලය තුළට කඩාවැදී ප්‍රහාරයක් එල්ල කර ප්‍රාණ ඇපකරුවන් පිරිසක් ද අල්ලාගෙන ගියහ. මෙම සිද්ධිය වලක්වා ගැනීමට නොහැකි වීම ද ජනතාව තුළ නෙතන්යාහු රජය කෙරේ දැඩි අප්‍රසාදයක් ඇති කළ කාරණයක් විය.

මැතිවරණයේ දී තම කඳවුර පසුබෑමකට ලක්ව තිබීම අගමැති නෙතන්යාහු ඇතුළු ඔහුගේ කණ්ඩායම තුළ යම් නොසන්සුන්තාවක් ඇති කර තිබෙනු දැකිය හැකි වේ. එම පසුබිම තුළ ඔවුන් මැතිවරණ ප්‍රතිඵලය ප්‍රශ්න කරමින් සිටිනු ද දැකගන්නට ලැබේ.

අයිසන්කොට්

මෙවර මැතිවරණයේ දී විශාල ප්‍රගතියක් පෙන්නුම් කළ පාර්ශ්වයක් වන්නේ ඊශ්‍රායාලයේ  මුස්ලිම් ජනතාව නියෝජනය කරන අරාබි පක්ෂ යි. (ඊශ්‍රායලයේ වෙසෙන බහුතරය යුදෙව් ජාතිකයන් ය.)  අරාබි පක්ෂ පාර්ලිමේන්තු ආසන 19 ක් දිනාගන්නට සමත් වී ඇති අතර ඔවුන් ඉතිහාසයේ මෙතෙක් දිනාගෙන ඇති වැඩිම ආසන සංඛ්‍යාව මෙය යි. මේ වනවිට පළ වී ඇති තොරතුරුවල දැක්වෙන්නේ මෙම පක්ෂ ගැඩි අයිසන්කොට් ගේ පිලට සහය දැක්වීමට සූදානම් බව යි. යම් හෙයකින් අයිසන්කොට් ඔවුන්ගේ සහය ලබා ගැනීමට එකඟ වුවහොත් ඔවුන්ට ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වනු ඇත. නමුත් විශ්ලේෂකයන් පවසන්නේ අයිසන්කොට් පාර්ශ්වය මෙම පක්ෂ සමග එකතු වනු ඇතැයි සිතිය නොහැකි බව යි.

අරාබි පක්ෂවලට මෙතරම් ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට හැකි වූයේ මුස්ලිම් ඡන්දදායකයන් විශාල වශයෙන් ඡන්දය පාවිච්චි කිරීමට පැමිණීම නිසා ය. නෙතන්යාහු පාර්ශ්වය පවසන්නේ මේ පිටුපස විදේශීය හස්තයක් ඇති බව යි. මෙම ඡන්දදායකයන් ඡන්දය දීම සඳහා යොමු කිරීමට කටාර් වැනි රටවල් නීති විරෝධී ආකාරයෙන් අරමුදල් යෙද වූ බවට නෙතන්යාහු පාර්ශ්වය චෝදනා කරයි.
මැතිවරණය දූෂිත බව පවසමින් ඔවුන් ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරන්නේ එම තර්කය මත පිහිටමිනි. කෙසේ නමුත් කටාර් පාලනය මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ. නෙතන්යාහු පාර්ශ්වය ද ඔවුන්ගේ චෝදනා සනාථ කළ හැකි සාක්ෂි කිසිවක් ඉදිරිපත් කර නැති බව සඳහන් වේ.


කෙසේ හෝ වේවා, කිසිදු පක්ෂයක් බහුතර ආසන සංඛ්‍යාවක් ලබා ගෙන නොමැති තත්වය තුළ ජනාධිපති අයිසැක් හර්සොග් ආණ්ඩුවක්  පිහිටුවීමේ වැඩි හැකියාවක් ඇතැයි ඔහු විශ්වාස කරන අපේක්ෂකයාට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඇරයුම් කරනු ඇත. නොවැම්බර් 10 වැනි දිනට පෙර ජනාධිපතිවරයා මෙම පියවර ගත යුතු වේ.

ඔහු මෙලෙස ඇරයුම් කරන අපේක්ෂකයාට දින 28 ක් තුළ ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වුවහොත්  ජනාධිපතිවරයා ඊළඟ  අපේක්ෂකයකුට ආරාධනා කරනු ඇත. එම අපේක්ෂකයාත්  ආණ්ඩුවක් පිහිටුවීමට අපොහොසත් වුවහොත් පාර්ලිමේන්තුවේ ඕනෑම මන්ත්‍රීවරයකුට ආණ්ඩුවක් පිහිටුවීම සඳහා උත්සාහ කිරීමට අවස්ථාව ලැබේ. ඒ සඳහා දින 21 ක කාලයක් ලැබෙනු ඇත. එම අවස්ථාවත් සාර්ථක නොවුණහොත් පාර්ලිමේන්තුව විසිරුවා හැර නැවත මැතිවරණයක් පැවැත්වීමට සිදුවනු ඇති අතර එතෙක්  අගමැති නෙතන්යාහු ගේ ආණ්ඩුව භාරකාර ආණ්ඩුවක් ලෙස කටයුතු කරනු ඇත.


ඊශ්‍රායලයේ ඇති වී තිබෙන මෙම දේශපාලන අස්ථාවරත්වය මැදපෙරදිග යුද්ධයට කෙසේ බලපානු ඇත් ද යන්න තවමත් නිශ්චිතව පැවසිය හැකි නොවේ. යම් හෙයකින් නෙතන්යාහුට බලය අහිමි වී වෙනත් කෙනෙකු බලයට පැමිණියහොත් යම් සාමකාමී තත්වයක් ඇති වේවි ද?

ඇතැම් විශ්ලේෂකයන් පවසන්නේ ඊශ්‍රායලයේ කව්රුන් බලයට ආවත් ඉරානයට එරෙහි යුද්ධයේ කැපී පෙනෙන වෙනසක් සිදු නොවනු ඇති බව යි. ඊශ්‍රායලයේ ප්‍රධාන දේශපාලන නායකයන් කව්රුත් ඉරානය සලකන්නේ ඊශ්‍රායලයේ පැවත්මට තර්ජනයක් එල්ල කරන පාර්ශ්වයක් වශයෙනි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර