“කොළඹ මැරතන් 2026” ජාත්‍යන්තර මැරතන් තරගය හේතුවෙන් අද (13) කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරයි.
පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේ, අද (13) පෙරවරු 6.00 සිට පෙරවරු 10.00 දක්වා මැරතන් තරගය පැවැත්වෙන මාර්ගවල රථවාහන සීමා පැනවීමට නියමිත බවයි.
මැරතන් තරගය පෙරවරු 6.00ට ජාතික ක්‍රීඩා අධිකාරියේ පරිශ්‍රයෙන් ආරම්භ වී කොල්ලුපිටිය සහ මැරීන් ඩ්‍රයිව් ඔස්සේ ගාලු මුවදොර දෙසට ගමන් කිරීමට නියමිතයි.
මැරීන් ඩ්‍රයිව් ඔස්සේ කොළඹ දෙසට පැමිණෙන වාහන කොල්ලුපිටිය හන්දියෙන් හරවා විකල්ප මාර්ග ඔස්සේ යොමු කිරීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කරයි.
එමෙන්ම දෙහිවල, ගල්කිස්ස ඇතුළු ප්‍රදේශවල සිට කොළඹ දෙසට ගමන් කරන රියදුරන්ට M.O.D. හන්දිය, කොම්පඤ්ඤවීදිය, වැලිකඩ සහ බොරැල්ල හරහා යන විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය දැනුම් දෙයි.
මැරතන් තරගය පැවැත්වෙන කාලය තුළ රථවාහන පාලනය සඳහා පොලිස් නිලධාරීන් යොදවා ඇති අතර, ඔවුන් ලබාදෙන උපදෙස් පිළිපදිමින් කටයුතු කරන ලෙස රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් පොලිසිය ඉල්ලා සිටියි.
තරගය අතරතුර ආරක්ෂාව සහ රථවාහන පාලනය සඳහා යතුරුපැදි 175ත් 177ත් අතර ප්‍රමාණයක් යොදවා ඇති බවද පොලිසිය සඳහන් කරයි.