අනුරාධපුර පුදබිමේ දී හමු වූ අමුතු දොස්තර


පසුගිය දිනවල ජාතික රූපවාහිනියෙන් “අමුතු දොස්තර” නමින් ටෙලි නාට්‍යයක් විකාශය කෙරිණි. එය බොහෝ දෙනාගේ මූලික අවධානයට ලක් වූයේ එහි ප්‍රධාන චරිතය වූ වෛද්‍යවරයා අප රටේ වෛද්‍ය වෘත්තිකයන්ට වඩා බෙහෙවින් වෙනස්, අසම්මත ස්වරූපයක් පළ කිරීම නිසා ය. එම ටෙලි නාට්‍යය නැරඹූ සමහරෙක් එම වෛද්‍යවරයාගේ චරිතය සැබෑ ලෝකයට සම්බන්ධ නැති අභව්‍යාත්මක එකක් සේ හැඳින්වූහ. ඒ, එම මාදිලියේ වෛද්‍යවරුන් පියවි ලොව දක්නට නොමැති බවට පවත්නා පොදු ජන විශ්වාසය නිසා ය. නමුත් ශ්‍රී ලංකාවේ දකුණු දෙසට පමණක් නොව මුළු රටටම වෛද්‍ය වෘත්තීයමය වශයෙන් අසිරිමත් ආදර්ශයක් සැපයූ, ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ (දැන් ජාතික රෝහල) අංක 06 ශල්‍ය වාට්ටුවේ හිටපු විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඩබ්ලිව්. සුධීර බී. හේරත් යනු එබඳු අතිශය දුර්ලභ ගණයේ “අමුතුම මාදිලියක දොස්තර” කෙනෙකි.

වෛද්‍ය සුධීර හේරත් ගෙන් සංගීත පුහුණුවක්
වෛද්‍ය සුධීර හේරත් ගෙන් සංගීත පුහුණුවක්

1962 මැයි 1 වැනිදා උපත ලබා, ඉකුත් ජූලි 3 වැනිදා 64 වැනි වියේදී අපෙන් සදහටම සමුගත් මේ “අමුතු දොස්තර” පිළිබඳ සැබෑ විවරණයක් මෙතෙක් සිදු වී නොමැති බව මගේ වැටහීම ය. එනිසා එම බරපතළ අඩුපාඩුව අංශු මාත්‍රිකව හෝ සපුරාලීම මෙම සටහනේ අරමුණ ය.

විශේෂඥ වෛද්‍ය සුධීර හේරත් මට මුල් වරට හමුවන්නේ 2000 දශකයේ මුල් භාගයේ දිනයෙක අනුරාධපුර පූජා නගරයේ පැරණි රෝහල අද්දර දී ය. ඒ ද ඉතා අහඹු ලෙසකිනි. ඒ මොහොතේ ඔහුගේ උරහිසේ එල්ලෙමින් තිබූ ෂෝල්ඩර් බෑගයත් (shoulder bag), වෘත්තීය ඡායාරූප ශිල්පීන් භාවිත කරන SLR කැමරාවත් නිසා ඔහු බොහෝ දුරට මා මෙන් “පත්තර කාරයෙකු” විය යුතු යැයි මට සිතිණි. ඒ අනුව ඔහුගෙන් වතගොත විමසූ විට ඔහු එහි දී මුල් වරට තමන් හඳුන්වා ගත්තේ අප රටේ ජාතික සහ සංස්කෘතික උරුමයන් පිළිබඳව හදාරන්නෙකු ලෙසිනි. ඒ ඇසුරින් තමන් විසින් සම්පාදනය කරන පොත් පෙළක් ගැන ද ඔහු කීය. අවසානයේ මා ඔහුගෙන් පෞද්ගලික වතගොත විමසන විට, ඔහු තමන් අනුරාධපුර මහ රෝහලේ වෛද්‍යවරයකු බව ඕනෑවට එපාවට මෙන් කියා දැම්මේ ය. ඒ අනුව ඔහු රජයේ සාමාන්‍ය වෛද්‍ය නිලධාරියකු යැයි සිතූ මම ඔහුට “ඩොක්ටර්” කියා ආමන්ත්‍රණය කළෙමි. එවිට ඔහු ගත් කටටම කියා සිටියේ “මට ඩොක්ටර් කියන්න ඕනෙ නෑ, සුධීර කියන්න” යනුවෙනි. පසුව මා දැනගත් අන්දමට සුධීර හේරත් යනු ශල්‍ය වෛද්‍ය ලෝකයේ මුණගැසෙන දුර්ලභ ගණයේ සද්දන්තයෙකි. ඔහු ලන්ඩන්, එඩින්බරෝ (ස්කොට්ලන්තය) සහ ග්ලාස්ගෝ (ස්කොට්ලන්තය) යන ලොව ප්‍රමුඛතම රාජකීය ආයතන තුනෙන්ම FRCS – Fellowship of the Royal College of Surgeons යන අධි ශිෂ්‍යත්ව ත්‍රිත්වයම හිමි කරගත් අතිශය විරල ගණයේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙකි. එසේ වුවද ඔහු මිය යන තෙක්ම අතිශය සරල මිනිසකු ලෙස මහ පොළොවේ දෙපා ගසාගෙන සිටි සැහැල්ලු චරිතයක් වීම එක්තරා අරුමයකි. එමෙන්ම මොහු මට හමු වූ මුල් කාලයේ, එල්.ටී.ටී.ඊ. යුද්ධයෙන් බරපතළ ලෙස තුවාල ලබා දිවා රෑ නොමැතිව රෝහල්ගත වන යුද සෙබළුන්ගේ ජීවිත බේරා ගැනීමේ සටනක දිවා රෑ නිරතව සිටි බව ද මට පසුව දැන ගත හැකි විය. ඉන් පසුව ඔහු හා සුහද ඇසුරකට පිවිසි මට, ඔහු තමන් වෛද්‍යවරයකු ලෙස නොහඳුන්වන ලෙස කළ ඉල්ලීම පිටුපස තිබූ දාර්ශනික හේතුව ද වටහා ගත හැකි විය. ඒ, ඔහුගේ ජීවිතය හුදෙක් වෛද්‍ය වෘත්තියට පමණක් සීමා වී නොතිබූ බැවිනි.

විශේෂඥ ශල්‍ය වෛද්‍ය වෘත්තියට අමතරව, විවිධ විෂයන් කෙරෙහි හසළ අත්දැකීම් හා දැනුමක් තිබූ ඔහු තමන් සේවය කළ සෑම ප්‍රදේශයක් ගැනම ස්වාධීනව අධ්‍යයනය කොට, එම ප්‍රදේශවල පාරිසරික වටිනාකම් හා ඓතිහාසික කරුණු ගවේෂණය කරමින් ‘සුන්දර මිහින්තලය’ සහ ‘ඌව අභිමානය’ ආදී විශිෂ්ට සාහිත්‍ය හා පුරාවිද්‍යා කෘතින් කිහිපයක්ම දැයට දායාද කොට තිබිණි. සිය පාසල් කාලය තුළ තමන් උගත් කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ කැපී පෙනෙන ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම ජාතික මට්ටමේ ජවන හා පිටිය ක්‍රීඩකයෙකු ද වූ සුධීර හේරත්, ඉන් ඉඳුරාම බැහැර වූ කලා ක්ෂේත්‍රයේ ද නිපුණයෙක් විය. ඔහු වයලීනය, සර්පිනාව සහ තබ්ලාව වැනි සංගීත භාණ්ඩ වාදනයට අති දක්ෂයෙකු වූ අතර, ඕනෑම ගීතයක් ශ්‍රවණය කළ සැනින් සුමිහිරි ලෙස ගායනා කිරීමේ සේම, එම ස්වර ප්‍රස්ථාර අනුව වාදනය කිරීමේ සහජ හැකියාවක් ද ඔහු සතු විය. එමෙන්ම රටේ පැවති යුද සමයේ, අනුරාධපුර මහ රෝහලට තුවාල ලැබූ සොල්දාදුවන් දිවා රෑ මුළුල්ලේ සිය ගණනින් ඇතුළත් කළ අසීරු වකවානුවේ, ඉතා සැහැල්ලු, මනසකින් යුතුව, ශල්‍යාගාරය තුළ එච්. ආර්. ජෝතිපාලයන්ගේ ගීත ශ්‍රවණය කරමින් හෝ ගීත මුමුනමින් ඔහු සිදුකළ ජීවිත ගැලවීමේ උතුම් මෙහෙයුම් සම්බන්ධයෙන් ඔහුගේ වෛද්‍ය සගයෝ අදට ද සාක්ෂි දෙති. “මේක මිනිස්සුන්ගේ පණ ගැහෙන ලේ මස් ඉස්සරහ ඉඳගෙන කරන්න ඕනේ අමුතුම තාලෙ වෙදකමක්. ඒ හින්දා හිත සැහැල්ලුවෙන් තියා ගන්නම වෙනවා” වරක් ඒ පිළිබඳව විමසූ මට ඔහු එසේ කීය. තම වෘත්තීය, ශාස්ත්‍රීය සේම කලාකාමී ජීවිතයට අමතරව ආධ්‍යාත්මික ජීවිතයට ද ලැදි වූ ඔහු, අවසන් වරට සේවය කළ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට අත පොවන මානයේ තිබූ කරාපිටිය පුරාණ සුනන්දාරාම විහාරය සේම තවත් වෙහෙර විහාර කිහිපයක් හා යාවජීව ලෙස බැඳී සිටියේය. ඔහු එහි දහම් පාසල් භක්ති ගීත පුහුණු කිරීම්වලට සම්බන්ධ වූයේ තමන් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු බව මුළුමනින්ම අමතක කරමිනි. එමෙන්ම විහාරස්ථානවල වාර්ෂික පිරිත් පිංකම් සඳහා සහභාගී වන විට, අවසානය දක්වාම වැඳගෙන අතිශය මධුර ස්වරයෙන් පිරිත් සජ්ඣායනා කිරීම ඔහුගේ සිරිතක් විය.

හයේ වාට්ටුව

විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුධීර හේරත්ගේ පාලනය යටතේ පැවති ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ 06 වාට්ටුව සැබවින්ම කයට සේම මනසට සුව සෙත සදන සැබෑ සුව නිවහනක් විය. අද බහුලව සිදු කෙරෙන, රජයේ රෝහල්වල නේවාසිකව හිඳින රෝගීන් සමීපයේ දිනකට රුපියල් පන්දහස දක්වා මුදල් ගෙවා පුහුණු උපස්ථායකයන් නොවන බාහිර පුද්ගලයන් ( Bystanders) රඳවා තැබීම වෛද්‍ය සුධීර හේරත්ගේ බරපතළ නොරිස්සුමට ලක් විය. සමහරුන් එසේ කරනුයේ තම අතමිට සේම කණකර ද අහිමි කරගනිමින් බව ඔහු හොඳාකාරව දැන සිටියේය. “ලෙඩෙක් ඉස්පිරිතාලෙක ඇඩ්මිට් කරනවා කියන්නේ ඒ ලෙඩාගේ භාරකාරත්වය ඉස්පිරිතාලෙන් භාර ගන්නවා කියන එකනේ. ඉතින් අපි මොකටද පිට මිනිස්සු මේවා ඇතුළේ තියා ගන්නේ” යැයි කී ඔහු එම සිරිත මුළුමනින්ම නතර කොට දැමීය.මේ වන විට නුපුහුණු පුද්ගලයන්ගෙන් සමන්විත රෝගී උපස්ථායක සේවා ආයතන රටේ සෑම ප්‍රධාන රෝහලක් සමීපයේම පිහිටුවා තිබේ. මෙම රෝහල සම්බන්ධ නිශ්චිත තොරතුරු නැතත් “ලෙඩා ළඟ කවුරු හරි තියන්න වෙයි” යනුවෙන් රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලවල ඇතැමුන් රෝගීන්ගේ ඥාතීන්ට කොඳුරා පවසන කතාවේ යටි අරමුණු පිළිබඳව කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මාධ්‍ය හමුවේ කළ අභීත ප්‍රකාශය ද වෛද්‍ය සුධීර හේරත්ට උපහාර පිණිස මෙහි සටහන් කරමු. ඒ පුහුණු උපස්ථායකයන් නොවන බාහිර පුද්ගලයන් වෙනුවට, ඒ සම්බන්ධ දැනුම හා අත්දැකීම් සහිත ස්ථිර රෝහල් කාර්ය මණ්ඩලයේ නොමඳ සහයෝගය ඇතිව රෝගීන් සියල්ලන්ම මනාව රැකබලාගැනීමේ වාට්ටු කළමනාකරණ (Ward Management) සංකල්පයක් ඔහු හඳුන්වා දුන්නේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස කිසිදු රෝගියෙකුට බිම හෝ ට්‍රොලි මත වැතිර ප්‍රතිකාර ලබන්නට සිදු නොවිණි. සෑම රෝගියෙකුටම ඇඳක් වෙන් වූ අතර, වාට්ටුවේ පිරිසිදුකම සහ රෝගී සංග්‍රහය ඉහළම මට්ටමක පවත්වාගෙන යාමට ඔහු වගබලා ගත්තේය. එමෙන්ම වෛද්‍ය සුධීර හේරත් තරම් අකුරටම වේලාව පිළිපදින වෛද්‍ය සේම විශේෂඥ වෛද්‍ය වරුන් අතිශය දුලබ බව බොහෝ දෙනෙක් කියති.දිනපතා පෙරවරු හතට පසවරු එකට වශයෙන් වාට්ටු සංචාරයට එන ඔහු විනාඩි කිහිපයක් හෝ පමා වූ දිනයක් වාට්ටු කාර්ය මණ්ඩලයට අත් දැකින්නට ලැබෙන්නේ නොමැති තරම් ය.මේ සියලු මානුෂීය මෙහෙවර හේතුවෙන් අසරණ රෝගීන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ මානසික හා මූල්‍යමය බර විශාල ලෙස සැහැල්ලු විය. ‘මෙතන ඉන්න හැමෝම අසරණයි. ඒ අසරණකම පිටුදකින එක තමයි අපේ යුතුකම හා වගකීම. ඒ හින්දා අපි “මම අසවලා, මම මේක විතරයි කරන්න ඕනේ, මේක කරන්න ඕනේ නෑ” වගේ පටු හැඟීම් අතහැරලා මේ අසරණ මිනිස්සු වෙනුවෙන් එක විදිහටම කැපවෙන්න ඕනේ. මේ එක මනුස්සයෙක් ටිකක් සනීප වෙලා යනකොට මූණේ ඇතිවෙන සැනසුම් සහගත හිනාවේ නියම වටිනාකම අපි හරියට තේරුම් ගන්න ඕනේ’ කියලා සුධීර සර් අපිව නිතරම දිරිමත් කරනවා” ඔහු සමඟ හයේ වාට්ටුවේ සේවය කළ හෙද නිලධාරිනියක් කීවා ය.

වෛද්‍ය සුධීර හේරත් හයේ වාට්ටුවේ දී

ඔහුගේ මේ ගැඹුරු චින්තනය හා වෛද්‍ය දැනුම රෝහල් වාට්ටුවට හෝ ශල්‍යාගාරයට පමණක් සීමා නොවීය. එය අන් අයට බෙදා දීමේ අසීමිත උද්‍යෝගයක් හා කැපවීමක් ඔහු තුළ විය. විශ්ව විද්‍යාලයකට විධිමත් ලෙස සම්බන්ධ නොවූවද, කිසිදු දිරිගැන්වීමක්, වරප්‍රසාදයක් හෝ මුදලක් අපේක්ෂාවෙන් තොරව, රාත්‍රී කාලයේ රුහුණු වෛද්‍ය පීඨයේ සිසුන් වෙනුවෙන් දේශන පැවැත්වීම ඔහුගේ සිරිතක් කරගෙන තිබුණි. එමෙන්ම එම දෙසුම් වලින් පැවසුණු කරුණු ගලේ කෙටුවාක් මෙන් එම සිසුන්ට මතක හිටීම තුළ ඔහු විශිෂ්ට ගුරුවරයෙක් ද විය. ඒ අතර එමෙන්ම ඉතා ගැඹුරු වෛද්‍ය විද්‍යාත්මක විෂය කරුණු අතරින් අත්‍යවශ්‍යම කොටස් පෙරා ඔහු වටිනා අත්පොත් දෙකක් ලියා තිබූ අතර, කිසිදු පූර්ව දැනුමක් නොමැති කෙනෙකුට වුවද පහසුවෙන් තේරුම් ගත හැකි අයුරින් වෛද්‍ය විද්‍යාව කියා දෙන පාඨමාලාවක් ඔහු නොමිලේම පැවැත්වීය. ඔහුගේ ‘Short Cases in Surgery’ ඇතුළු ග්‍රන්ථ අද වන විට වෛද්‍ය සිසුන්ට සහ ශල්‍ය පශ්චාත් උපාධි අපේක්ෂකයින්ට විශිෂ්ටතම මාර්ගෝපදේශයන් බවට පත්ව ඇත. ඔහු සිසුන්ට හුදෙක් විද්‍යාත්මක කරුණු පමණක් ඉගැන්වූයේ නැත; සැබෑ ශල්‍ය වෛද්‍යවරයෙකු ලෙස තීරණ ගන්නා සහ “ශල්‍ය වෛද්‍යවරයෙකු මෙන් සිතන ආකාරය” (How to think like a Surgeon) ඔහු ඔවුන්ගේ මනසට ධාරණය කළේය.

මිනිස් ජීවිතයක තුන් වන අර්ධය ආරම්භයේ දීම සදහටම නිහඬ වූ මේ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයාගේ දේහය මේ වන විට කොළඹ බොරැල්ල බාර්නි රේමන්ඩ් අවමංගල්‍යාගාරයේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු අද (06) සවස බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරේ. වසර ගණනාවක් පුරා නිහඬව, මව්බිමේ අසරණ රෝගී පොදු ජනතාව වෙනුවෙන් තම වටිනා ජීවිතය කැප කරන අතරේ කලාව, සංස්කෘතිය හා වෛද්‍ය අධ්‍යාපනය උදෙසා ඔහු සිදු කොට ඇති නිහඬ මෙහෙවරට සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවගේ බලවත් ප්‍රණාමය සදා හිමි විය යුතුය. අපේ යුගයේ වෛද්‍ය ක්ෂේත්‍රය ආලෝකවත් කළ ගෞරවනීය වෛද්‍ය ඩබ්ලිව්. සුධීර බී. හේරත් සහෘදයාණෙනි, ඔබ මෙතෙක් මේ මහ පොළොව මත තැබූ ඒ අසිරිමත් මානුෂීය පියසටහන්වල අනුරූ අපගේ මෙන්ම මතු පරපුරේ ද හදවත් තුළ සිත්තම් වන්නේ නම් එය ඒකාන්ත වශයෙන්ම මතු ශ්‍රී ලාංකික සමාජ සුබසිද්ධියට හේතු වනු ඇත.

තිලක් සේනාසිංහ

එතෙර - මෙතෙර