ඉහළ මිලකට ගත් තොග නිමා වන තුරු ඉන්ධන මිල අඩු කරන්න බෑ

වර්තමානයේ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් පහළ ගියද, ඒ අනුව මෙරට ඉන්ධන මිල වහාම පහත දැමීමට කිසිදු හැකියාවක් නොමැති බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ඊයේ (17) ප්‍රකාශ කළේය. රටේ ආර්ථික තත්ත්වය පැහැදිලි කිරීම සඳහා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, දැනට මෙරට තුළ පරිභෝජනය කරමින් පවතින්නේ මීට පෙර ඉහළ මිලකට මිලදී ගත් ඉන්ධන තොග බවයි. ඒ අනුව, වැඩි මිලට ආනයනය කළ එම ඉන්ධන තොග සම්පූර්ණයෙන්ම අවසන් වන තුරු මෙරට ඉන්ධන මිල අඩු කිරීමට නොහැකි බව ඔහු පැහැදිලි කළේය. කෙසේ වෙතත්, එම තොග පරිභෝජනය කර අවසන් වූ පසු මිල සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකි වන බවත්, ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ ද වැඩි මිලට ලබාගත් ඉන්ධන වන බැවින් මිල අඩු කිරීම සඳහා යම් කාලයක් ගතවනු ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය. එහෙත් ඉන්ධන මිල අනාගතයේදී අඩු වනු ඇති බවට බලාපොරොත්තුවක් පවතින බව පවසමින්, මේ වන විට ලබා දී ඇති සහනය ඉවත් නොකර පවතින මිලේම පවත්වා ගැනීම හෝ මිල අඩු කිරීම පිළිබඳව ඉදිරියේදී සලකා බලන බව ද අමාත්‍ය අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Uncategorized