ඔබ කෙරෙන් පැන නඟින රෝග ලක්ෂණ අසවල් දේ නිසා යැයි නිගමනය කිරීම අනතුරුදායකයි – වෛද්‍ය සුගත් විජේවර්ධන වෛද්‍ය නිලධාරී (මහජන සෞඛ්‍ය) ශික්ෂණ රෝහල, පේරාදෙණිය


ලෙඩ දුක් යනු ජීවත්වන අප කාටත් එකසේ පොදු වූ යථාර්ථයකි. අපට පමණක් නොව, සියලු සතුන්ටම ජීවත්වන කාලය තුළ විවිධ රෝගාබාධවලට මුහුණ දීමට සිදු වේ. එම රෝගාබාධ අතර ස්වභාවයෙන්ම ඇති වී සුව වී යන රෝග ද, ඖෂධ හෝ ප්‍රතිකාර මගින් සුවපත් කළ හැකි රෝග ද වේ. එමෙන්ම නූතන වෛද්‍ය විද්‍යාවට අදටත් අභියෝගාත්මකව පවතින රෝගාබාධ ද තිබේ.

කෙසේ වුවද, මෙහි ඇති ඉතාම අවාසනාවන්ත තත්ත්වය නම්, විධිමත් වෛද්‍ය ප්‍රතිකාර මගින් පහසුවෙන් සුව කරගත හැකි රෝගාබාධ රැසක් තිබියදී, ඒ සඳහා වූ හැකියාව සහ පහසුකම් තිබියදීත්, නිසි සුවයක් නොලබා දීර්ඝකාලීනව දුක් විඳීමට හෝ අකල් මරණයට පත්වීමට සිදුවීමයි. මෙය වෛද්‍යවරුන් නිතර අත්දකින දෙයකි. එවැනි රෝගීන්ගේ රෝග ඉතිහාසය විමසා බැලීමේදී, ඔවුන් ලබාදෙන ප්‍රකාශයන්ගෙන් වෛද්‍යවරුන් පවා සංතාපයට පත් වන්නේ “අපරාදේ මේ ජීවිතේ” යන හැඟීමෙනි. එනම්, නියපොත්තෙන් කැඩිය හැකි දේ පොරොවෙන්වත් කැපිය නොහැකි තත්ත්වයට පත්ව තිබීම නිසා ය.

මෙහිදී පළමු වැදගත්ම කාරණය වන්නේ, තමන්ට කිසියම් රෝග ලක්ෂණයක්, ප්‍රධාන වශයෙන් කායික වේදනාවක් වැනි ලක්ෂණයක් ඇති වූ විට, එය ශරීරය විසින් ජෛවීය වශයෙන් අපට ලබාදී ඇති ආරක්ෂක උපක්‍රමයක් බව නොදැන සිටීමයි. මෙහිදී බොහෝ දෙනා සිදු කරන්නේ තමන් විසින්ම තීරණවලට එළඹී “මේ නිකන් වෙන්න ඇති”, “මේ අහවල් කාරණය නිසා වෙන්න ඇති” යැයි සිතීමයි. අප මෙහිදී අදහස් කරන්නේ එදිනෙදා සුළු වශයෙන් ඇතිවන වේදනා, කැක්කුම් පිළිබඳව නොව, නිරන්තරයෙන් පවතින වේදනා, කැක්කුම් හා විවිධ කායික අපහසුතාවයන් පිළිබඳවයි.

එම “වෙන්න ඇති” යන පදනම් විරහිත සිතුවිල්ල ඇතැම්විට නිවැරදි විය හැකි වුවද, ඇතැම්විට අතිශය බරපතළ මුලාවක් විය හැකිය. ඉංග්‍රීසි භාෂාවෙන් මෙවැනි තර්ක හඳුන්වනු ලබන්නේ මිත්‍යා තර්කන (Fallacy) යනුවෙනි. එසේ වූ විට සිදුවන්නේ මුළු ජීවිත කාලයම දරුණු රෝගියෙකු ලෙස ගත කිරීමට හෝ අකල් මරණයකට ලක්වීමට සිදුවීමයි.

දෙවන කාරණය වන්නේ, කිසියම් පුද්ගලයෙකු තම රෝග ලක්ෂණයක් පිළිබඳව පැවසූ විට, ඔහුගේ හිතවත් පවුලේ ඥාතීන් සහ වෙනත් හිතවතුන් විසින් ඒ සඳහා විවිධ අර්ථකථන ලබාදීම සහ විවිධ ප්‍රතිකාර ක්‍රම යෝජනා කිරීමයි. අප රටේ පවතින විධිමත් සෞඛ්‍ය සේවයෙන් ප්‍රතිකාර ගැනීමට වඩා බොහෝ දෙනෙකු උපදෙස් දෙන්නේ විකල්ප ප්‍රතිකාර ක්‍රම වෙත යොමු වන ලෙසයි. “ඕවට ආණ්ඩුවේ ඉස්පිරිතාලවලට ගිහින් වැඩක් නෑ, අහවල් තැන වෙද මහත්තයෙක් ඉන්නවා, එහෙම නැත්නම් මන්තර ගුරුකම් කරන කෙනෙක් ඉන්නවා, ඒවයින් තමයි ඕකට නිසි සුවය ලැබෙන්නේ” වැනි අවිධිමත් තොරතුරු ලබා දෙයි. “අපේ දන්න කෙනෙක් හිටියා, ඔය වගේ අසනීපයක් තිබුණා, අහවල් වෙද මහත්තයා ළඟට ගියා, ප්‍රතිකාර ගත්තා, දැන් සුවයි” වැනි කතා ද පවසයි. ඇතැමුන් මෙවන් කතා තම පෞද්ගලික විශ්වාස පෙරදැරිව කරන අතර තවත් පිරිසක් එම රෝගියා කෙරෙහි තම හිතෛෂී බව පෙන්වීමට ද මෙවැනි බොරු කියති.

මෙයද “ගිය මාසේ දහ වෙනිදා වැස්සා, අදත් දහ වෙනිදා ඒ නිසා අදත් වහිනවා” වැනි තර්කයක් හා සමානය. මේවා කිසිසේත්ම යථාර්ථවාදී විද්‍යාත්මක තර්ක නොවේ.

අද වන විට සමාජ මාධ්‍ය තුළින් විවිධ අසනීප සඳහා විස්මිත ප්‍රතිකාර කරන බව පවසන වෛද්‍ය ප්‍රතිරූපකයින්, එනම් වෛද්‍යවරුන් නොවන පුද්ගලයන් බිහිවී ඇත. සමහරු තමන් ළඟ “රාවණාගේ පරපුරේ ප්‍රතිකාර” ඇති බව පවසති. රාවණා යනු මානව විද්‍යාත්මක සංකල්පයකි. ඒ අනුව ඔහුගේ ප්‍රතිකාර ක්‍රමයක් යැයි දෙයක් නොමැත. එය විහිළු කතාවක් ලෙස පමණක් සාර්ථක විය හැකිය. එහෙත් එවැනි පුද්ගලයන් අද අති විශාල වශයෙන් අහිංසක රෝගීන් මුලා කොට මුදල් ගසා කමින් සිටිති. සමාජ මාධ්‍ය ඔස්සේ මේවා ද ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වනු පෙනෙයි.

රජයේ රෝහල්වල ජන පීඩනයක් පවතින බව සත්‍යයකි. අධික රෝගීන් ගැවසීම නිසා නිසි ප්‍රතිකාර නොලැබෙන බවටද සමහරු පවසති. මෙම කාරණය නිසා බොහෝ රෝගීන් මෙම විකල්ප වෙත යොමු වේ. නමුත් ඇත්ත වශයෙන්ම රජයේ රෝහල් පද්ධතිය තුළ සෑමවිටම ඉතා නිවැරදි කළමනාකාරීත්වයක් යටතේ ප්‍රතිකාර සිදු කෙරේ. එමෙන්ම රෝහලකින් ප්‍රතිකාර ලබන සෑම රෝගියෙකු පිළිබඳවම වෛද්‍යවරුන් වශයෙන්ද, රෝහල් පරිපාලනය වශයෙන්ද, අමාත්‍යාංශය වශයෙන්ද වගකීමක් දරනු ලැබේ. ඒ අනුව රජයේ රෝහල්වල ප්‍රතිකාර නොකරන කතාව හඳුන්වනුයේ පදනම් විරහිත කතා ලෙසය.

එක අතකට රෝහල්වල ජන පීඩනය නිසා අපහසුතාවට පත්වන්නේ රෝගීන් පමණක් නොවේ. වෛද්‍යවරුන්, හෙදියන්, කනිෂ්ඨ කාර්ය මණ්ඩලය, රසායනාගාර ශිල්පීන් ඇතුළු සියලු දෙනාම අපහසුතාවට පත්වෙති. එය සාමාන්‍ය ස්වභාවයක් වුවද, ඔවුන් එම අභියෝගයට මුහුණ දෙමින් සේවය කරති. එබැවින් රෝගීන් වශයෙන් යම් අපහසුතාවයක් ඇති වුවද, එය අභියෝගයක් ලෙස සලකා ඊට මුහුණ දිය යුතුය. එසේ නොමැතිව කැලෑ පාරවල් ඔස්සේ සුවය සොයා යාම අතිශයින්ම අවදානම් සහගතය. එමෙන්ම රජයේ රෝහල්වල පවතින මෙම රෝගී තදබදය කලින් කලට වෙනස් වන්නක් බව ද කිව යුතුය. විශේෂයෙන් වසංගත රෝග පැතිර යන කාලවලදී දක්නට ලැබෙන රෝගී තදබදය සෙසු කාලවල නැත.

එබැවින් අනුමාන කිරීම්වලින් වැළකිය යුතුය. රෝග ලක්ෂණයක් ඇති වූ විට “මේක මෙහෙම වෙන්න ඇති” යැයි රෝගියාට නිගමනය කළ නොහැක. වෛද්‍යවරයෙකුටවත් එසේ නිගමනය කළ නොහැක. ඔහු කළ යුත්තේ ද අනුමාන කිරීමකි. පසුව විද්‍යාත්මක ක්‍රම මගින් එම රෝගය පිළිබඳ නිගමනයකට එළඹේ. එනම් Hypothetico-deductive ක්‍රමයයි.

එබැවින් රෝගයකට ප්‍රතිකාර ගැනීමේදී අතිශය වගකීම් සහගත විය යුතුය. තැන තැන සිටින වෛද්‍යවරුන් යැයි කියාගන්නා ඕනෑම පුද්ගලයෙකු වෙත නොයා, අප රටේ ක්‍රියාත්මක වන ප්‍රධානතම වෛද්‍ය ක්‍රමය වන ඇලෝපති හෙවත් බටහිර වෛද්‍ය ක්‍රමය වෙත පළමුව යොමු විය යුතුය. රජයේ රෝහලකින් හෝ පෞද්ගලිකව විශේෂඥ / සාමාන්‍ය වෛද්‍යවරයෙකු හරහා, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙකු හරහා එම ප්‍රතිකාර ලබාගැනීමේ ගමන් මඟට යොමු විය යුතුය. ඉන්පසුව ඔවුන් විසින් එය සුදුසු පරිදි කළමනාකරණය කරනු ලබයි. මූලික වශයෙන් රෝග ලක්ෂණ සඳහා ප්‍රතිකාර (Symptomatic Treatment or Management) ලබාදී, එයින් සුවයක් නොලැබුණහොත් අදාළ වෛද්‍ය පරීක්ෂණවලට හෝ අදාළ විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමු කරනු ලබයි. එසේ නොමැතිව බටහිර හෝ වෙනත් කිසිදු වෛද්‍ය සභාවක ලියාපදිංචියක් නොලත් “රටේ වෙදුන්ගෙන්” ප්‍රතිකාර ලබා ඇතිවන විපත්වලට වගකීමට කිසිවකුත් නොමැති බව ඔබ තරයේම සිතට ගත යුතුය.

වෛද්‍ය සුගත් විජේවර්ධන
වෛද්‍ය නිලධාරී (මහජන සෞඛ්‍ය)
ශික්ෂණ රෝහල, පේරාදෙණිය

පහන් ටැඹ