කොළඹ විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන ඇතැම් විභාග සහ ඩිප්ලෝමා පාඨමාලා විභාගවලදී බරපතළ අක්‍රමිකතා සිදුවන බවට ලැබුණු පැමිණිල්ලක් මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන් පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද මෙම පැමිණිල්ල මඟින් ආචාර්යවරුන් සම්බන්ධ බරපතළ චෝදනා රැසක් අනාවරණය කර තිබේ. එහි ප්‍රධාන වශයෙන්ම දක්වා ඇත්තේ ඇතැම් ආචාර්යවරුන් තමන්ට හිතවත් සිසුන්ට විභාගයට පෙර ප්‍රශ්න පත්‍ර හෙළි කරන බවත්, සමහර ආචාර්යවරුන් මුදල් ලබාගෙන විභාග ලකුණු ලබා දී ඇති බවත්ය.
මීට අමතරව, ආචාර්යවරුන්ට අවනත නොවන සිසුන් හිතාමතා අසමත් කර පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කිරීම, සම්මත විභාග ක්‍රමවේද, කණ්ඩායම් ව්‍යාපෘති සහ ලකුණු දීමේ පටිපාටි ඇතැම් ආචාර්යවරුන්ගේ පුද්ගලික වුවමනාවන් මත වෙනස් කිරීම මෙන්ම විභාගවලින් අසමත් කළ ඇතැම් සිසුන් ප්‍රශ්න කිරීම්වලින් පසු හදිසියේම සමත් කර තිබීම වැනි අක්‍රමිකතා ද එහි පැහැදිලිව පෙන්වා දී ඇත. පැමිණිලිකාර සිසුන් කරුණු සහ සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට අවධාරණය කර ඇත්තේ මෙම සියලු ක්‍රියාකාරකම් අල්ලස් පණත යටතේ සෘජුවම දඬුවම් ලැබිය හැකි බරපතළ වරදවල් වන බවයි.