අධ්යාපන අමාත්යාංශයේ මෙහෙයවීමෙන් පැවති 40 වැනි සමස්ත ලංකා පාසල් ක්රීඩා උලෙළේ බාලක සමස්ත ශූරතාව දිනා ගැනීමට වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විදුහල (ලකුණු 118) සමත් වූ අතර, බාලිකා ශූරතාව වත්තල ලයිසියම් ජාත්යන්තර පාසල (ලකුණු 215) සතු විය.
ජෝසප් වාස් විදුහල වසර 13ට පසු මේ ශූරතාව දිනාගත් අතර, ලයිසියම් ක්රීඩිකාවෝ පිට පිට සිව්වැනි වරටත් ශූරතාව දිනා ගැනීමට කැපී පෙනිණි.
සමස්ත බාලක අනුශූරතාව තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විදුහල (ලකුණු 95) හිමිකරගත් අතර, තෙවැනි ස්ථානය මාතර රාහුල විදුහලට (ලකුණු 82) හිමි විය. පන්නිපිටිය ධර්මපාල විදුහල (ලකුණු 70) බාලිකා අනුශූරතාව දිනාගත් අතර, තෙවැනි ස්ථානය මීගමුව ආවේ මරියා කන්යාරාමයට (ලකුණු 62) හිමි විය.
දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදී ඊයේ නිමා වූ මේ ක්රීඩා උලෙළේ අතිශූර මලල ක්රීඩකයා ලෙස අවුරුදු 20න් පහළ බාලක මීටර් 110 කඩුලු පැනීමේ ඉසව්වේ තත්පර 14.02කින් නිමා කළ ගොඩකවෙල කුලරත්න මධ්ය මහ විදුහලේ කවීෂ දිල්ෂාන් සම්මාන ලැබූ අතර, අවුරුදු 20න් පහළ බාලිකා මීටර් 200 ඉසව්වේ තත්පර 24.23කින් නිමා කරමින් රන් පදක්කම දිනාගත් වත්තල ලයිසියම් ජාත්යන්තර පාසලේ රිසන්සා හිරුපමා අතිශූර මලල ක්රීඩිකාව ලෙස තිළිණ ලැබුවාය.
නව තරග වාර්තා 23ක් බිහි වූ මේ තරගාවලියේ ජය සංකේත ප්රදානය අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවියගේ ප්රධානත්වයෙන් පැවති අතර, එම අවස්ථාවට තරුණ කටයුතු හා ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ, ක්රීඩා නියෝජ්ය ඇමැති සුගත් තිලකරත්න, අධ්යාපන අමාත්යාංශයේ අතිරේක ලේකම් (විෂය සමගාමී සහ ප්රාථමික අධ්යාපන සංවර්ධන) රුක්මාලී කාරියවසම් යන මහත්ම මහත්මීහු ද එක් වූහ.