තමන්ගේම නඩුව අසන තැනට ශ්‍රේෂ්ඨාධිකරණය පත් නොකර සිටීම නීති සම්පාදකයන්ගේ වගකීමයි. එවැනි සිදුවීමකින් රටේ කීර්ති නාමයට විශාල හානියක් සිදුවිය හැක. – සුනිල් ජයසේකර

අද වන විට සමාජයේ ඉමහත් අවධානයට යොමු වී ඇති යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇති ඉහළ අධිකරණයන්හි ගරු විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම සිදුකල යුතුව ඇත්තේ මනා සුපරික්ෂාවකින් යුත් බහු පාර්ශ්වීය ගැඹුරු සම්මුතියකින් අනතුරුව වන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ස්ථාවරයයි. එහිදී සියළුම පාර්ශ්වයන්හි වගකීමක් වන්නේ කුමන හෝ තත්ත්වත්යන් තුළ වුවද තමන්ගේම නඩුව අසන තැනට ශ්‍රේෂ්ඨාධිකරණය පත් නොකර සිටීමයි.

එහිදී අධිකරණ ස්වාධීනත්වය පිළිබඳව අප අසමසම අවධානයක් යොමුකල යුතුව තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, ඕනෑම තේරී පත් වූ හෝ පත් කරන ලද නිලධාරියෙකුගේ විශ්‍රාම වයස පිළිබඳ එකම සඳහන ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන් සම්බන්ධයෙනි (105(7) වගන්තිය). එය අධිකරණ ස්වාධීනත්වය සහතික කරන මූලික ආකාරයකි. අධිකරණයේ භූමිකාවට විධායකයේ හා ව්‍යවස්ථාදායකයේ කටයුතුවල නීත්‍යනුකූලභාවය පරීක්ෂා කිරීම ඇතුළත් වන බැවින්, විනිසුරුවරුන්ගේ ධුර කාලය සහ ඔවුන්ගේ වරප්‍රසාද එසේ ආරක්ෂා කිරීම අත්‍යවශ්‍යය. සියලු පාර්ශ්වයන්ගේ ප්‍රමුඛතම වගකීම විය යුත්තේ කිසිදු ප්‍රතිසංස්කරණයක් යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය වන අධිකරණයේ ප්‍රතිරූපයට කිසිදු හානියක් නොවන අයුරින් සිදු කිරීමයි.

මේ වන විට 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර ඇති අතර අද (18) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. මෙම සංශෝධනයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය පරීක්ෂා කිරීම පිණිස අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමු වන බව බොහෝ පාර්ශ්ව මේ වන විටත් දන්වා ඇත. මෙහි ඇති උභතෝකෝටිකය නම්, මෙම නඩුව අසන විනිසුරුවන් හට, ඔවුන්ගේම සේවා කාලය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් දීමට සිදු වීමයි.

එහිදී යුක්තිය පිළිබඳ පදනම් ආප්තයක් උල්ලංඝනය වනු දැකිය හැකිය. එනම්, කිසිවෙකුට තමන්ගේම නඩුවක විනිසුරු විය නොහැක, (Nemo judex in causa sua) යන පැරණි, බොහෝ දුරට අනුල්ලංඝනීය ලෙස සැලකෙන ආප්තයයි.

මෙම නීති ආප්තය උල්ලංඝනය කිරීමට අධිකරණයට බල කෙරෙන අවස්ථාවක් යෝජිත 22 සංශෝධනය මගින් නිර්මාණය කෙරී තිබේ. එනම්, පනත් කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලභාවය පරීක්ෂා කළ යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය බව ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රමයෙන් ම දක්වා ඇති බැවින්, විනිසුරුවන්ට තමන්ගේම නඩුව අසන්නට සිදුවන අයුරින් මෙම කෙටුම්පත සකස් වී ඇත.

එහිදී අප සුපරික්ෂාවෙන් යුතුව සලකා බැලිය යුතු කාරණයක් වන්නේ වෙනත් රටවල මෙවැනි තත්ත්ව මඟ හරින්නේ කෙසේද යන්න ය.

කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රාන්ත සේවයේ විනිසුරුවන් විශේෂ නඩුවලට කැඳවීමට හැකි අතර, සහ එංගලන්තයේ පවතින ක්‍රමයක් වන්නේ, මෑතකදී විශ්‍රාම ගිය විනිසුරුවන්ගෙන් සමන්විත අතිරේක විනිසුරු මණ්ඩලයකින් මෙවැනි විශේෂ නඩුකර සඳහා විනිසුරුවන් කැඳවීමයි.

තවත් බොහෝ රටවල, ව්‍යවස්ථා අධිකරණ පිහිටුවා තිබේ. ඔස්ට්‍රියාව, ජර්මනිය, දකුණු කොරියාව, දකුණු අප්‍රිකාව, ඉන්දුනීසියාව, තායිලන්තය, තුර්කිය ආදී බොහෝ රටවල, පනත් වල ව්‍යවස්ථානුකූලභාවය පරීක්ෂා කරන්නේ මෙකී ව්‍යවස්ථා අධිකරණ මගිනි. ශ්‍රී ලංකාවට විශ්‍රාමික විනිසුරුවන්ගේ සංචිත මණ්ඩලයක් හෝ වෙනම ව්‍යවස්ථා අධිකරණයක් නැත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම පිණිස, නීති මූලධර්ම උල්ලංඝනය නොවන පරිද සංශෝධනයක් ගෙන ඒමට මෙම කෙටුම්පත සකස් කරන අවදියේදීම හැකියාව තිබූ අතර, දැනටත් නිවැරදි කිරීමක් කළ හැක. ඒ අනුව, වර්තමාන ව්‍යවස්ථාව යටතේ ශ්‍රී ලංකාවේ නීති සම්පාදකයන්ට යොමුවිය හැකි විසඳුම් පවතී. ඒ සඳහා දැනට යෝජිත කෙටුම්පත සංශෝධනය කළ යුතු ය.

යෝජිත 22 වන ව්‍යවස්ථා සංශෝධනය අධිකරණයට යොමු කිරිමෙන් අනතුරුව, ජනමත විචාණයකින් සම්මත කිරීමට තුඩු දෙන බව තීන්දු කෙරුණහොත්, අදාළ තීරණය තීන්දුව ගනු ලබන්නේ ජනතාවයි. එවිට, තමන්ගේම නඩුව ඇසීම පිළිබඳ නීති ආප්තය සමඟ නොගැටෙනු ඇති අතර, යුක්තියේ මූලධර්මයට එමගින් කිසිදු හානියක් නොමැති බව පැහැදිළි ය.

අධිකරණය සහ යුක්තිය පසඳලීම හුදෙක් සාධාරණ වීම ප්‍රමාණවත් නැත. එය සාධාරණ බව පෙනී යා යුතු බවත්, ප්‍රකට විය යුතු බවත් මූලික පිළිගැනීමකි. ජනතාවගේ ඍජු තීන්දුවකින් තොරව, මේ යෝජිත සංශෝධනය ප්‍රකාරව, වත්මන් විනිසුරුවන්ගේ ධුර කාලය දීර්ඝ වුවහොත්, යුක්තිය පසිඳලීමේ ක්‍රියාව සියලු දෙනා හට සාධාරණ යැයි පෙනී යාම දුර්වල වන බවට තර්ක කිරීමට විවිධ පාර්ශ්ව වෙත වැඩි ඉඩක් විවර වේ. අනෙක් අතට, සිය සාධාරණත්වය සහ අපක්ෂපාතිත්වය ප්‍රකට කිරීමට, අධිකරණය වෙත ඇති වන බලපෑම වැඩි වීමෙන් ද අධිකරණමය දෘෂ්ටිය මත සෙවණැලි වැටිය හැකි ය. මේ දෙයාකාරයෙන්ම සිදු වන්නේ, අධිකරණයේ ස්වාධීන්ත්වය සහ අපක්ෂපාතිත්වය පිළිබඳව ඇති වර්තමාන විශ්වාසය කවර හෝ පාර්ශ්වකයට සාපේක්ෂව පළුදු වීමකි.

ගරු ශ්‍රේෂ්ඨාධිකරණය කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය බොහෝ අර්බුද හමුවේ පවා නොසැලී තිබේ. අතීත අභියෝග හමුවේ, එහි ස්වාධිනත්වය ආරක්ෂා කිරිමට ගරු අධිකරණය මෙන්ම පුරවැසි සහ වෘත්තීය සංවිධාන ඇතුළු බොහෝ පාර්ශ්ව කැප වී සිටිය හ.

මෙවැනි තත්ත්වයන් සලකා බැලීමේදී සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස අපගේ අදහස වන්නේ නීති සම්පාදකයන්ගේ වගකීම විය යුත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණයට තමන්ගේම නඩුව අසන තැනට පත් නොකර අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි වන මහජන විශ්වාසය පළුදු නොවන අන්දමින් ජනතා පරමාධිපත්‍ය බලය ක්‍රියාවෙහි යෙදවීමයි.

ඒ සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමය සමග සුහද සාකච්ඡාවකින් පසු ගෞරවණීය විසඳුමකට එළැඹිය හැකි බව අපගේ විශ්වාසය යි. අද රටේ ඇති වී තිබෙන අවාසනාවන්ත සහ දැඩි හානිකර බෙදීම නිරාකරණය කරගැනීම දේශයේ ඉදිරි ගමනට පිටිවහලක් වනු ඇත.

ආරම්භයේ සිටම ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම වෙනුවෙන් විශාල කැපවීමක් කර ඇති සිවිල් සමාජ ආයතනයක් වශයෙන් ‍මෙම කරුණු ගැන රජය හා ජනතාව දැණුවත් කිරීම අපගේ ජාතික යුතුකමක් ලෙස සළකමු.

සුනිල් ජයසේකර
මහලේකම්,
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

එතෙර - මෙතෙර