දරුවකු ඩැහැ ගැනීමට ආ බව කියන දැවැන්ත පක්ෂියා කවරෙකු විය හැකි ද?

මාතර, නාවිමන ප්‍රදේශයේ නිවසක මිදුලේ සෙල්ලම් කරමින් සිටි පස් හැවිරිදි පිරිමි දරුවෙකු ඩැහැ ගැනීමට ආ විශාල පක්ෂියෙකු පිළිබඳ පුවතක් පසුගිය ජූලි 20 වනදා වාර්තා වී ඇත.වාර්තා වන ආකාරයට, නිවසේ ගෙවත්තේ තනිව සෙල්ලම් කරමින් සිටි දරුවා එක්වරම විලාප තැබීම ඇසී පියා පිටතට පැමිණ තිබේ. එහිදී විශාල පක්ෂියෙකු දරුවා අසල සිටිනු දැක ඇති අතර, පියා වහා ක්‍රියාත්මක වී පක්ෂියා පලවා හැර දරුවා මුදාගෙන ඇත. සීරීම් තුවාල ලබා සිටි දරුවා ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇති බවත්, මූලික ප්‍රතිකාර ලබා දීමෙන් පසු නිවස වෙත පිටත් කර හරින ලද බවත් එම වාර්තාවල දැක්වේ.දරුවාගේ සීයා උපුටා දක්වමින් සඳහන් වන්නේ, පුතාගේ ක්ෂණික ක්‍රියාකාරීත්වය නිසා දරුවාගේ ජීවිතය බේරුණු බවත්, තම ජීවිත කාලය තුළ මෙතරම් විශාල පක්ෂියෙකු දැක නොමැති බවත්ය. සිදුවීමෙන් පසු දරුවා තවමත් භීතියෙන් හා උණ තත්ත්වයකින් පසුවන බවද ඔහු පවසා ඇත.කෙසේ වෙතත්, දරුවෙකු ඩැහැගෙන යාමට තරම් විශාල උකුස්සෙකු ශ්‍රී ලංකාවේ නොමැති බව පරිසරවේදීහු අවධාරණය කරති. ඔවුන්ගේ අනුමානයට අනුව, මෙය අප රටේ වෙරළබඩ සහ කලපු ආශ්‍රිතව දක්නට ලැබෙන ඇලි-කුස මුහුදු රාජාලියා (White-bellied Sea Eagle – Haliaeetus leucogaster) විය හැකිය. මත්ස්‍යයන් සහ කුඩා පක්ෂීන් ප්‍රධාන ආහාරය කරගන්නා මෙම පක්ෂීන්, තර්ජනයක් දැනුණු විට නියපොතුවලින් පහර දී පලා යාමේ අවස්ථා කලාතුරකින් වාර්තා වී තිබේ. මෙයද එවැනි අහඹු සිදුවීමක් විය හැකි බව ඔවුහු පෙන්වා දෙති.ශ්‍රී ලංකාවේ වාර්තා වන විශාලතම ගොදුරු පක්ෂියා වන ඇලි-කුස මුහුදු රාජාලියාගේ උපරිම බර කිලෝ 3-4 ක් පමණ වන අතර, පියාපත් විහිදුවීම මීටර් 2.2 ක් පමණ වේ. කිලෝ 15-18 ක් පමණ බරැති අවුරුදු 5 ක දරුවෙකු ඔසවාගෙන පියාසර කිරීමට තරම් ශක්තියක් කිසිදු ශ්‍රී ලාංකීය උකුස්සෙකුට හෝ රාජාලියෙකුට නොමැත.ශ්‍රී ලංකාවේ වටිනා වනජීවී සම්පතක් වන මෙවැනි ගොදුරු පක්ෂීන්ට හානි කිරීමෙන් වළකින ලෙසත්, දරුවන් ගෙවත්තේ තනිව සිටින විට වැඩි අවධානයක් යොමු කරන ලෙසත් පරිසරවේදීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

කාලීන පුවත්