රජය විසින් මේ වසරේදී පළාත් සභා මැතිවරණය පවත්වනු ලැබුවහොත්, සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස්වීමට සමගි ජන බලවේගයේ (සජබ) මන්ත්‍රීවරුන් 11 දෙනෙකු සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.එළඹෙන පළාත් සභා මැතිවරණයේදී මහ ඇමැති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීම සඳහා ඔවුන් මෙම තීරණය ගෙන ඇත. බස්නාහිර, දකුණ සහ උතුරුමැද යන පළාත් නියෝජනය කරන මෙම මන්ත්‍රීවරුන් 11 දෙනා, සිය තීරණය පිළිබඳව පක්ෂ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත දැනටමත් නිල වශයෙන් දැනුම් දී තිබේ.මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ (එජාප) ප්‍රබල තනතුරු දරන හිටපු අමාත්‍යවරුන් තිදෙනකු ද ඉදිරි පළාත් සභා මැතිවරණයේදී සමගි ජන බලවේගය සන්ධානය යටතේ තරග වැදීමට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ. ඔවුන් ද මහ ඇමැති ධුර සඳහා තරග වැදීමේ අරමුණින් යුතුව විපක්ෂ නායකවරයා වෙත සිය පණිවුඩ යොමු කර තිබේ.පක්ෂ අභ්‍යන්තරයෙන් සහ පිටතින් එල්ල වන මෙම ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, වඩාත් සාධාරණ සහ විනිවිදභාවයකින් යුත් අයුරින් නාමයෝජනා ලබාදීමේ ක්‍රියාවලිය සිදු කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වහාම ක්‍රියාත්මක වී ඇත.ඒ අනුව, ඉදිරි පළාත් සභා මැතිවරණයේ නාමයෝජනා ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳව සොයා බැලීම සහ සුදුස්සන් තේරීම සඳහා විශේෂ කමිටු දෙකක් පත් කිරීමට පක්ෂ නායකවරයා පියවර ගෙන තිබේ.මෙම නව දේශපාලන පෙරළියත් සමඟ ඉදිරි පළාත් සභා මැතිවරණ සටන සඳහා සමගි ජන බලවේගය තුළ දැඩි උණුසුම්කාරී මෙන්ම තරගකාරී වටපිටාවක් නිර්මාණය වී ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.