මහනුවර ඇසළ පෙරහරට විශේෂ රථවාහන සැලැස්මක්

වාර්ෂිකව පවත්වනු ලබන ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් විශේෂ රථවාහන සහ ආරක්ෂිත සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය නිවේදනය කරයි.

18 වැනිදා සිට 23 වැනිදා දක්වා කුඹල් සහ රන්දෝලි පෙරහර වීථි සංචාරය කරයි.

එළැඹෙන 18 වැනිදා සිට 22 දින දක්වා කුඹල් පෙරහැර වීඨි සංචාරය කරන අතර 23 වැනිදා සිට 27 වැනිදා දක්වා රන්දෝලි පෙරහැරද වීථී සංචාරය කිරීමටද නියමිතයි.

ඒ අනුව පෙරහර පවත්වන කාලසීමාව ආවරණය වන පරිදි පොලීසිය විසින් මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබන අතර මාර්ග බාධක ආරක්ෂක රාජකාරි, රථවාහන හා පුද්ගලයින් පරීක්ෂා කිරීම, සංචාරකයින්ට මග පෙන්වීම හා රථවාහන ගාල් කිරීම යන කරුණු කිහිපයකින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙන බව පොලීසිය සඳහන් කරයි.

පෙරහරේ ආරක්ෂක රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 6,200ක් සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 564ක්ද, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1,200ක්, සිවිල් ආරක්ෂක නිලධාරීන් 29ක් ද යොදා ගැනීමට කටයුතු සංවිධාන කර ඇති අතර මේ සඳහා පොලිස් නිල සුනඛ සහායද ලබා ගැනීමටද නියමිතයි.

පොලීසිය පැවසුවේ, දළදා පෙරහැර පැවැත්වෙන කාලය තුළ මහනුවර නගරයට පිවිසෙන ස්ථාන 14ක් ආවරණය වන පරිදි මාර්ග බාධක රාජකාරී ක්‍රියාත්මක කර ආරක්ෂාව තර කිරීමට ද අපේක්ෂා කරන බවයි.

පෙරහර නැරඹීම සඳහා පැමිණෙන පිරිස් වෙත රථවාහන ගාල් කිරීම සඳහා රථ ගාල් 13ක් සකස් කරනු ඇත. ඒ අනුව සැහැල්ලු වාහන රථ ගාල් 6ක් සහ බරවාහන රථ ගාල් 07ක් ද මහජනතාවගේ පහසුව සඳහා වෙන් කෙරෙන බවද පොලීසිය පවසයි.

තවද පෙරහැර කාලසීමාව තුළදී මහනුවර නගරය මගහැර රථවාහන ගමන් කිරීම සඳහා රියදුරන්ට විකල්ප මාර්ග හඳුන්වා දී ඇතැයි ද ඒ අනුව අදාළ කාලසීමාව තුළදී එම විකල්ප මාර්ග භාවිත කිරීමට පියවර ගන්නා ලෙස ද පොලීසිය රථවාහන රියදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි.

කාලීන පුවත්