ලෝක වෙළෙඳපොළේ පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් මෙරට මාසික ඉන්ධන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 520 ඉක්මවා යමින් අතිවිශාල ලෙස ඉහළ ගොස් ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නවතම වාර්තා පෙන්වා දෙයි. මීට පෙර මෙරට මාසික ඉන්ධන ආනයනය සඳහා වැය වූයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ මුදලක් වුවද, වත්මන් තත්ත්වය හමුවේ එම වියදම මෙලෙස කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ගවලට අනුව මෙම ආනයන වියදම් ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ලෝක වෙළෙඳපොළේ ඩීසල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමයි. ඒ අනුව පසුගිය පෙබරවාරි මාසයේදී ඇමරිකානු ඩොලර් 88.8ක් ලෙස පැවති ඩීසල් බැරලයක මිල මාර්තු මාසයේදී ඩොලර් 191.7ක් දක්වාත්, අප්‍රේල් මාසයේදී ඩොලර් 199.7ක් දක්වාත් උච්චාවචනය වී ඇත. මැයි මාසය තුළ ඩීසල් මිලෙහි යම් අඩුවීමක් පෙන්නුම් කළද, එම මාසය අවසාන වන විට මෙම මිල ගණන් නැවතත් ඉහළ අගයක් ගනු ඇති බව ඉන්දියාව ඇතුළු රටවල් රැසක් මේ වන විට පුරෝකථනය කර තිබේ.ගෝලීය වෙළෙඳපොළේ මිල ගණන් මෙලෙස ඉහළ යාම නිසා දැඩි ආර්ථික බලපෑමක් එල්ල වී තිබුණද, පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය තවදුරටත් ඉන්ධන සහන ලබා දීමට පියවර ගෙන ඇත. ඒ අනුව වත්මන් රජය ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100ක සහනයක් සහ පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 20ක සහනයක් ලබා දීමට කටයුතු කර තිබේ. රට තුළ බහුලවම භාවිත වන ඩීසල් සඳහා ලබා දෙන මෙම සහනාධාරය වෙනුවෙන් පමණක් රජයට මාසිකව රුපියල් බිලියන 57ක දැවැන්ත පිරිවැයක් දැරීමට සිදුව ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. ගෝලීය වෙළෙඳපොළේ පවතින මෙම අහිතකර තත්ත්වය සහ ඉන් මෙරට ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද මීට පෙර අවස්ථා කිහිපයකදීම රට හමුවේ අනතුරු අඟවා තිබිණි.