රට රැක ගත් විරුවන් සැමරීම ද?ගැරහීම ද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

මැයි මාසය ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂී මාසයකි. ඒ, ශ්‍රී ලාංකීය ශිෂ්ටාචාරය ගොඩනැඟීමට පදනම සපයා දුන් බෞද්ධ දර්ශනය ලොවට දේශනා කළ බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම යන වැදගත් සිදුවීම් සිදු වූ වෙසක් පුර පසළොස්වක් පොහෝ දිනය මැයි මාසයට යෙදීම නිසා ය. මැයි මාසයට යෙදෙන, ජාතික වශයෙන් වැදගත් සිදුවීම් තවත් කිහිපයක් ම තිබේ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට සිංහලේ අවසාන රාජ්‍යය භාරදීමට තරම් මෙරට ජන ප්‍රධානීන්ගේ සිත්සතන් වෙනස් කළ, ඇහැලේපොළ අධිකාරම්වරයාගේ දරු පවුල ඝාතනය කරවීම සිංහලේ රජු විසින් ක්‍රියාත්මක කරන ලද්දේ ද මැයි මාසයක දී ය. ඇහැලේපොළගේ දෙවැනි පුත් මද්දුම බණ්ඩාර අනුස්මරණය යෙදී ඇත්තේ මැයි 17 දිනට ය. වසර 147ක් බ්‍රිතාන්‍ය කිරීටය යටතේ පාලනය වූ ලංකාව නිදහස්, නිවහල්, ස්වාධීන ශ්‍රී ලංකා ජනරජයක් බවට පත් වුණේ 1972 මැයි 22 දින දී ය. එදින සිට වසර පහක් ම අපේ ජාතික දිනය වුණේ මැයි 22 වනදා ය. 1977 දී බලයට පත් ආණ්ඩුව, යළිත් බ්‍රිතාන්‍යයෙන් ඩොමීනියන් තත්ත්වය ලබාගත් පෙබරවාරි හතර ජාතික දිනය ලෙස ව්‍යවස්ථාගත කිරීමත් සමඟ ශ්‍රී ලංකාව ජනරජයක් වූ වැදගත් සිදුවීම ජනතාවගේ මතකයෙන් ඈත් විය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ රටේ පැවැත්මට එල්ල වූ බලවත් ම තර්ජනය වූ, ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ උත්සාහය වළක්වා, බිහිසුණු ත්‍රස්තවාදී ව්‍යාපාරයකින් රට ගලවා ගත් තීරණාත්මක දිනය වූයේ මැයි 18 දිනයයි. 2009 මැයි 18 දින මුලතිව් මුහුදු වෙරළේ එල්.ටී.ටී.ඊ. (LTTE) ත්‍රස්තවාදීන් බලහත්කාරයෙන් සතු කරගෙන සිටි අවසාන කුඩා බිම්කඩ අල්ලා ගනිමින් ශ්‍රී ලංකා යුද හමුදාව එම ජාතික ජයග්‍රහණය සටහන් කරන ලදී. ශ්‍රී ලංකාව සතු සාගර කලාපය තුළ කොටසක ත්‍රස්තවාදීන් ගොඩනඟාගෙන සිටි මුහුදු ආධිපත්‍යය නාවික හමුදාව විසිනුත්, ගුවන් තලය හරහා යම් යම් බලපෑම් කිරීමට ත්‍රස්තවාදීන් සතුව තිබූ ශක්තිය ගුවන් හමුදාව මඟිනුත් මැයි 18 දිනට පෙර අවසන් කර තිබුණි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ රටේ පැවැත්මට එල්ල වූ බලවත් ම තර්ජනය වූ, ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ උත්සාහය වළක්වා, බිහිසුණු ත්‍රස්තවාදී ව්‍යාපාරයකින් රට ගලවා ගත් තීරණාත්මක දිනය වූයේ මැයි 18 දිනයයි. 2009 මැයි 18 දින මුලතිව් මුහුදු වෙරළේ එල්.ටී.ටී.ඊ. (LTTE) ත්‍රස්තවාදීන් බලහත්කාරයෙන් සතු කරගෙන සිටි අවසාන කුඩා බිම්කඩ අල්ලා ගනිමින් ශ්‍රී ලංකා යුද හමුදාව එම ජාතික ජයග්‍රහණය සටහන් කරන ලදී. ශ්‍රී ලංකාව සතු සාගර කලාපය තුළ කොටසක ත්‍රස්තවාදීන් ගොඩනඟාගෙන සිටි මුහුදු ආධිපත්‍යය නාවික හමුදාව විසිනුත්, ගුවන් තලය හරහා යම් යම් බලපෑම් කිරීමට ත්‍රස්තවාදීන් සතුව තිබූ ශක්තිය ගුවන් හමුදාව මඟිනුත් මැයි 18 දිනට පෙර අවසන් කර තිබුණි. ඒ අනුව, වසර තිස් ගණනක් තිස්සේ ශ්‍රී ලංකා රාජ්‍යයේ ස්වාධීනත්වය හා භෞමික අඛණ්ඩතාව අභියෝගයට ලක් කරමින්, සමස්ත ශ්‍රී ලංකාවාසී සියලු දෙනා බලවත් පීඩාවට පත් කරමින් කරගෙන ගිය ත්‍රස්තවාදී ව්‍යාපාරයේ දෘශ්‍යමාන පැවැත්ම අහෝසි කර රාජ්‍යය ස්ථාවර කර ගත්තේ ද මැයි මාසයේ දී බව සටහන් කළ යුතු වේ. මේ අනුව මැයි මාසය ශ්‍රී ලාංකීය ශිෂ්ටාචාරයේ අනුස්මරණීය මාසයක් වන බව අවිවාදිත ය.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ව තිබූ, උතුරු නැගෙනහිර පළාත්වල වෙනම රාජ්‍යයක් ස්ථාපිත කිරීමේ ව්‍යාපාරයේ මූල පද්ධතිය ජාත්‍යන්තරයට සම්බන්ධ ව තිබුණි. ඉන්දියාව හා බටහිර අධිරාජ්‍යවාදී රටවල් මේ ව්‍යාපාරය පෝෂණය කිරීමට බොහෝ උදව් උපකාර කළේ ඔවුන්ගේ දේශපාලනික උවමනාවන් වෙනුවෙනි. ඉන්දු ලංකා සාම ගිවිසුම මඟින් ඉන්දියාව තම දේශපාලනික අවශ්‍යතාවන් යම් පමණකට තහවුරු කරගෙන, පළාත් සභා විසඳුම ලෙස ලබා දී උතුරු නැගෙනහිර අරගලය අවසන් කිරීමට උත්සාහ කළත්, බටහිර අධිරාජ්‍යවාදී බලවේග සමඟ සමීප ව සිටි එල්.ටී.ටී.ඊ.ය ඊට සූදානම් වුණේ නැත. ඒ අනුව වෙනම රාජ්‍යයක් සඳහා වන සටන එල්.ටී.ටී.ඊ.යෙන් අඛණ්ඩව ඉදිරියට ගෙන ගියේ ඉන්දියාවට ද අභියෝග කරමිනි.

ත්‍රස්තවාදී ක්‍රියාවන් ප්‍රවර්ධනය කරමින් දෙවන, තුන්වන ඊළාම් සටන් එල්.ටී.ටී.ඊ.යෙන් සිදු කළේ යුද, නාවික හා ගුවන් බලය ද ශක්තිමත් කරගනිමිනි. බටහිර රටවල ක්‍රියාත්මක එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව මේ යුද්ධය සඳහා ත්‍රස්තවාදීන්ට අවශ්‍ය මූල්‍ය සහාය ලබා දුන් අතර, ඔවුන්ගේ බලපෑම මත ඒ ඒ රාජ්‍යයන්හි දේශපාලන සහාය ද යම් මට්ටමකට දිනා ගැනීමට හැකි විය. මේ නිසා ම මේ ගැටලුව සඳහා සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට එළඹිය යුතු බවට වන ජාත්‍යන්තර බලපෑමක් ද පැවතුණි. මේ නිසා ම ආණ්ඩු ගණනාවක් සාමකාමී විසඳුමක් වෙනුවෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ සාකච්ඡා කළහ. එසේ වුවත් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ උපාය මාර්ගය වූයේ, තමන් යුදමය වශයෙන් දුර්වල අවස්ථාවල සාකච්ඡා මාර්ගයට පිවිසී, යුද ශක්තිය ගොඩනඟා ගන්නා තෙක් සාකච්ඡා කරමින් කල් ඇරීම මඟින් අවසානයේ ඊළාම් රාජ්‍යය ස්ථාපිත කර ගැනීම ය.

ආරම්භයේ සිට ඉන්දු ලංකා ගිවිසුම, චන්ද්‍රිකා රජය සමඟ සාකච්ඡා, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සමඟ සාකච්ඡා ආදී සාකච්ඡා සඳහා යොමු වූ සෑම අවස්ථාවක් ම ඔවුන් යොදා ගත්තේ ඉහත උපාය මාර්ගය ම ය. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමඟ ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් සටන් වැදුණු ඊ.පී.ආර්.එල්.එෆ්. (EPRLF), ටෙලෝ (TELO), ප්ලොට් (PLOTE) සහ ඊ.පී.ඩී.පී. (EPDP) යන සංවිධාන අවි අත්හැර ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගවලට යොමුවීම නිසා, ඊළාම් වෙනුවෙන් සටන් කරන එකම බලවේගය ලෙස දෙමළ ජනතාව අතර පෙනී සිටීමට අවශ්‍ය පසුබිම එල්.ටී.ටී.ඊ.යට සැකසුණි. ඒ අතර ම උතුරේ ඊ.ප.ඩී.පී. සංවිධානය යාපනයේ දූපත්වල ආරක්ෂාව සඳහා අවි දරමින් රජයේ හමුදාවලට සහාය වීම එල්.ටී.ටී.ඊ.යට කළ අභියෝගයක් විය. මේ නිසා ම ඊ.පී.ඩී.පී. සංවිධානයේ සාමාජිකයන් ඝාතනය කිරීමට එල්.ටී.ටී.ඊ.ය ක්‍රියා කරන ලදී. ඒ අන්දමින් ම ඊ.පී.ආර්.එල්.එෆ්. නායක පද්මනාභ ඇතුළු සාමාජිකයන්, ටෙලෝ නායක ශ්‍රී සභාරත්නම් ඇතුළු සාමාජිකයන්, ප්ලොට් නායක උමා මහේස්වරන් ඇතුළු සාමාජිකයන් වශයෙන් දෙමළ තරුණයන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ඝාතනය කර දමන ලදී. එල්.ටී.ටී.ඊ.යට ඝාතනය කළ නොහැකි වූයේ ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවානන්දා පමණි. උපායශීලී තියුණු බුද්ධියකින් ද, අවි ආයුධ පරිහරණයේ මනා නිපුණත්වයකින් ද, දේශපාලනික ව පැහැදිලි ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගය පිළිබඳ විශ්වාසයකින් ද පරිපූර්ණ දක්ෂ දේශපාලකයකු වූ ඩග්ලස් දේවානන්දාට වාර හය හතක් ප්‍රහාර දියත් කළත් ඔහුව මරා දැමීමට එල්.ටී.ටී.ඊ.යට හැකි වුණේ නැත. මරාගෙන මැරෙන කාන්තාවන් දෙතුන් දෙනා යොදාගෙන එල්ල කළ ප්‍රහාරවලින් ද ඔහුට හානි කළ නොහැකි විය. උතුරේ එල්.ටී.ටී.ඊ.යට යම් ආකාරයක අභියෝගයක් එල්ල කළේ ඩග්ලස් දේවානන්දා පමණි.

නැගෙනහිර පළාත තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය ශක්තිමත් වූයේ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් වටා ය. නැගෙනහිර දෙමළ ජනතාවට කොහොමටත් උතුර සමඟ වැඩි සම්බන්ධතාවක් නැත. දෙමළ සමාජයේ පවතින දරුණු කුලභේදය නිසා ම නැගෙනහිර දෙමළ ජනතාව උතුරේ දෙමළ ඉහළ කුල සමාජයේ අඩු සැලකීමට ගොදුරු ව සිටියහ. මඩකලපුව දෙමළ ජනතාවට උතුරට සාපේක්ෂව අවස්ථාවන් බෙහෙවින් සීමිත ය. නැගෙනහිර වඩාත් ම ආර්ථික වශයෙන් ශක්තිමත්ව ඉන්නේ කලපුවත් මුහුදත් අතර වෙරළ තීරයේ වෙළෙඳාමේ නිරත පිරිසයි. එම පිරිසට ද ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කිරීමේ දී මුස්ලිම් ව්‍යාපාරිකයන්ගෙන් තරඟකාරිත්වයක් එල්ල වේ. කාත්තන්කුඩි, එරාවුර්, ඔට්ටමාවඩි, සයින්දමරුදු, අක්කරපත්තු, පොතුවිල් වැනි කේන්ද්‍රීය නාගරික ප්‍රදේශ මුස්ලිම් ජනතාවගේ වාණිජ කේන්ද්‍රස්ථානයන් ය. මේ නිසා වෙළෙඳාම ප්‍රවර්ධනයෙන් ආර්ථික අවස්ථා පුළුල් වීමක් අපේක්ෂා කිරීමට නැගෙනහිර දෙමළ ජනතාවට හැකියාවක් නැත. මඩකලපුව කලපුවෙන් බටහිර ප්‍රදේශය සාමාන්‍යයෙන් ගොවිතැනෙන් යැපෙන දුප්පත් දෙමළ ජනතාවගේ වාසභූමියයි. ඔවුන්ට වගාවට ඇවැසි ජල පහසුකම් සීමිත වීම, ප්‍රවාහන පහසුකම් දුර්වල වීම, සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් දුර්වල වීම එම ප්‍රදේශවල ජනතාව දැඩි පීඩනයකට ලක් කළ හේතූන් විය. අඩු අධ්‍යාපනය, ආදායම අඩු වීම, රැකියා විරහිත භාවය ආදී ප්‍රශ්නවලින් වෙලී සිටි මේ ප්‍රදේශවල දෙමළ තරුණයන් එල්.ටී.ටී.ඊ.යට ආකර්ෂණය කරවා ගැනීමට කරුණා අම්මාන්ගේ නායකත්වය සමත් වීම උතුරේ ප්‍රභාකරන්ට ලැබුණු මහත් වූ සම්පතක් විය. බොහෝ තීරණාත්මක සටන් එල්.ටී.ටී.ඊ.ය ජයගත්තේ මේ නැගෙනහිර එල්.ටී.ටී.ඊ. භටයන්ගේ සහයෙනි. මේ නැගෙනහිර ප්‍රදේශවල එල්.ටී.ටී.ඊ. මහවිරු පවුල් ද විශාල ප්‍රමාණයක් සිටි බව නිරීක්ෂණය විය. අම්පාර දිස්ත්‍රික්කයේ දෙමළ ගම් සියයක් පමණ පවතී. මේ ගම්වලට අයත් මහවිරු පවුල් 38ක් එල්.ටී.ටී.ඊ. රැකවරණය යටතේ ජීවත්ව සිටිය දී, අවසන් යුද්ධයේ දී ආරක්ෂක හමුදා භාරයට පත්ව සිට 2009 වසර අවසානයේ සිවිල් පරිපාලනය අප වෙත භාරදුන් බැවින්, අම්පාරේ පමණක් මරාගෙන මැරුණු එල්.ටී.ටී.ඊ. සාමාජික සාමාජිකාවන් තිස් අටක් සිටි බව පැහැදිලි විය. මඩකලපුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඒ සාමාජිකයිනුත් සමඟ නැගෙනහිරින් පමණක් මරාගෙන මැරුණු සාමාජිකයන් සියයකට අධික පිරිසක් සිට ඇති බව පෙනේ. නැගෙනහිර එල්.ටී.ටී.ඊ. නායකයා වූ කරුණා අම්මාන් 2003 සාම සාකච්ඡාවලින් පසුව ප්‍රභාකරන් සමඟ ඇති වූ මතභේදයක් හේතු කරගෙන එල්.ටී.ටී.ඊ.යෙන් ඉවත්වීම නිසා එල්.ටී.ටී.ඊ.යට දක්ෂ අණදෙන්නෙකු හා සටන්කාමී භටයන් හයදහසක් පමණ අහිමි වූ අතර, එය එල්.ටී.ටී.ඊ.ය දුර්වල කිරීමට හේතු වූ ප්‍රබල හේතුවක් විය.

යුද කාලයේ කරුණා අම්මාන් හා ප්‍රභාකරන් එක්ව සිටිය දී පවා නැගෙනහිර පළාතේ දෙමළ ජනතාව උතුරේ දෙමළ නායකත්වය නුරුස්නා බව හෙළි කළ අපූරු අත්දැකීමක් මා සතු වේ. එවක මඩකලපුවේ දිසාපතිවරයාව සිටියේ නැගෙනහිර එල්.ටී.ටී.ඊ. නායකයාව සිටි කරුණා අම්මාන් ළඟින් ඇසුරු කළ අයෙකි. කිසියම් රාජකාරි කටයුත්තකට මඩකලපුවට ගිය මට සහ එවක මා සේවය කළ අමාත්‍යාංශයේ ලේකම්තුමාට රාත්‍රී භෝජන සංග්‍රහයට ඇරයුම් කළ එම දිසාපතිවරයා, පූර්වයෙන් පැවතුණු සාදයේ දී මත් වූ පසු ප්‍රකාශ කළේ, “අපේ නැගෙනහිර කොල්ලො ඊළමක් ඉල්ලල සටන් කර කර මැරෙනවා. උතුරෙ කොල්ලො අපේ කොල්ලො ගන්න ඊළම පාලනේ කරන්න පිටරටවලට ගිහින් ඉගෙන ගන්නවා. අපේ එවුන් මැරිල ඊළම ගත්තොත් ඒකෙ උතුරෙ කොල්ලො රජවෙයි” කියා ය. පසුදින පොළොන්නරුව හරහා කොළඹ ඒමට සිටි අපව, කරදියනාරු එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශය හරහා කිසිදු බාධකයකින් තොරව වඩා ඉක්මනින් කොළඹ එවීමටත් අප මිත්‍ර දිසාපතිවරයා කරුණා අම්මාන්ට කතා කර පහසුකම සලසා දුන්නේ ය. මේ සිද්ධිය අනාගත ප්‍රභාකරන් – කරුණා අම්මාන් අතර බරපතල විරසකයක පූර්ව ලකුණු විය හැකි බව එදා එන අතර අපි කතා කළෙමු. අපේ අනුමානය සත්‍යයක් බවට පත්වුණේ වසරක පමණ කාලයක් තුළ ය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් සිංහල හා මුස්ලිම් ජාතිකයන්ට සිදු වූ අපමණ හිරිහැර කවුරුත් හොඳින් දන්නා දේවල් ය. ඒ හා සමාන හිරිහැර පීඩා දෙමළ ජනතාවට ඔවුන්ගෙන් සිදු වූ බව බොහෝ දකුණේ වාසීහු නොදනිති. නැගෙනහිර පළාතේ රාජකාරි කාලය තුළ අපේ දෙමළ මිතුරන් හා අප සමඟ සේවය කළ බොහෝ දෙමළ ජාතිකයන් මේ ත්‍රස්තවාදී ක්‍රියා නිසා පත්ව සිටි පීඩාකාරී තත්ත්වය රහසිගතව අප හා කතා කළ අවස්ථා බොහෝ ය. එල්.ටී.ටී.ඊ. සංවිධානය ඔවුන්ගේ මුදල්, රත්‍රන් ආදිය කප්පම් ලෙස ලබා ගන්නා බවත්, සංවිධානයට සිය දරුවන් ඉල්ලා සිටින බවත් ඔවුන් අප සමඟ පැවසුවේ බොහෝ වේදනාවෙනි. ඇතැම් අය පවුල් පිටින් රට හැර ගියේ මේ පීඩා ඉවසිය නොහැකි නිසා ය. සාමාන්‍ය ජනතාව නිරන්තරයෙන් ප්‍රකාශ කළේ දෙපාර්ශවය අතර සටන් පවතින වේලාවල දී හැර අන් අවස්ථාවල ශ්‍රී ลංකා හමුදාවෙන් තමන්ට අනතුරක් වෙතැයි කිසිදු බියක් නැති බව ය. එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් අනතුරක් වීමට ඉඩ වැඩි වුණත්, ඔවුන්ට විරුද්ධව පැමිණිලි කිරීමට තැනක් හෝ කෙනෙකු නොමැති යැයි ඔවුහු අප සමඟ පැවසූහ.

උතුරේ එල්.ටී.ටී.ඊ. පාලනයේ පැවති ප්‍රදේශවල වැසියන්ට අත්දකින්න ලැබුණේ ඔවුන්ගේ ෆැසිස්ට් පන්නයේ පාලනයේ අත්දැකීම් ය. සෑම පවුලකින් ම පාහේ එක් අයෙකු එල්.ටී.ටී.ඊ. සංවිධානයට භාරදිය යුතු විය. එම ප්‍රදේශවලට ගෙන එන භාණ්ඩ සඳහා එල්.ටී.ටී.ඊ.ය බදු පනවා තිබූ බැවින් භාණ්ඩ මිල දැරිය නොහැකි විය. සිය කෘෂි නිෂ්පාදන දකුණේ වෙළෙඳපොළට එවීම නොහැකි බැවින් ඒ සඳහා ප්‍රමාණවත් මිලක් ලබා ගැනීම අසීරු විය. සිය පාලන ප්‍රදේශයෙන් පිටතට යාමට එල්.ටී.ටී.ඊ.යේ අවසරය ලබාගත යුතු විය. බලහත්කාරයෙන් ළමුන් යුද කටයුතු සඳහා පැහැරගෙන යතැයි යන බියෙන් පෙළීමට මාපියන්ට සිදුව තිබුණි. මේ අතර එල්.ටී.ටී.ඊ.ය දියත් කළ මහා පරිමාණ ප්‍රහාරවල දී ප්‍රතිප්‍රහාරවලින් මියගියේ ද දෙමළ ජනයාගේ, එල්.ටී.ටී.ඊ.යට බඳවා ගත් දරුවන් ය. අවසානයේ ඔවුන් ද එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ලෙස හඳුන්වන ලදී. මේ සියලු ම පීඩාවන් දෙමළ ජනතාවට විඳීමට සිදුව තිබුණි. මේ සියල්ල නිරූපණය වන අදහස් ප්‍රකාශ කිරීමක්, යුද්ධයේ අවසාන දිනවල මුලතිව් වට්ටුවාකල් පාලම අසල දී රජයේ හමුදාව වෙත ගැලවීම පතා පැමිණි කාන්තාවක් හඬමින් කරන ප්‍රකාශයේ අන්තර්ගත ව තිබුණි. ඇය ප්‍රකාශ කළේ සියලු දෙනාව ම බේරාගන්නා ලෙස රජුගෙන් ඉල්ලා සිටින බවකි. “මැරිලා මැරිලා ඉන්නවා දැකලා එපාවෙලා තියෙන්නෙ, මම විතරක් බේරිලා වැඩක් නෑ, ඔක්කොම බේරාගන්න ඕන.” එල්.ටී.ටී.ඊ.ය බලෙන් රඳවා සිටි සාමාන්‍ය ජනතාව ආරක්ෂාව පතා හමුදාව වෙත එද් දී එල්.ටී.ටී.ඊ.ය කළේ ඒ අහිංසක මිනිසුන්ට වෙඩි තැබීමයි. එල්.ටී.ටී.ඊ.ය දෙමළ ජනතාව වෙනුවෙන් සටන් නොකළ බව තේරුම් ගැනීමට එය ම ප්‍රමාණවත් ය.

මේ කිසිදු දෙයක් ගැන කතා නොකර යුද්ධයේ දී දෙමළ ජන සංහාරයක් වූවා යැයි ආරක්ෂක හමුදාවලට චෝදනා කරන මෙරට දකුණේ එන්.ජී.ඕ. (NGO) වලින් යැපෙන සංවිධාන, මාධ්‍යවේදීන්, දේශපාලනඥයන් සියලු දෙනා ඒකාබද්ධව එල්.ටී.ටී.ඊ.ය පරාජය කිරීමේ වාඩුව, දිවා රෑ සටන් කළ රණවිරුවන්ගෙන් හා ඊට නායකත්වය දුන් අයගෙන් ගැනීමට පිඹුරුපත් සකසමින් සිටිති. මෙය හුදෙක් දේශපාලනමය පළිගැනීමකට එහා ගිය සංවිධානාත්මක ප්‍රයත්නයක් බව එය ක්‍රියාත්මක වන ආකාරය දෙස බලද් දී තේරුම් ගත හැකිය. එල්.ටී.ටී.ඊ.ය පරාජය කිරීමට තීරණාත්මක කාර්යභාරයක් කළ යුද, නාවික ඉහළ නිලධාරීන්ට විවිධ අපරාධ චෝදනා නඟමින් රක්ෂිත බන්ධනාගාරගත කිරීම, බුද්ධි අංශයේ රාජකාරි කරමින් ත්‍රස්තවාදය පැරදවීමට බුද්ධි තොරතුරු සපයා දුන් නිලධාරීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ම රැඳවුම් නියෝග මත රඳවාගෙන අනේකවිධ හිරිහැර කිරීම ඉතා ම පැහැදිලිව දක්නට ඇති දෙයකි. යුද්ධයට දේශපාලන නායකත්වය දුන් නායකයන්ට එරෙහිව සමාජ මාධ්‍ය යොදාගෙන අභූත චෝදනා කිරීම සඳහා සංවිධානාත්මක කල්ලි කණ්ඩායම් යොදවා ඇත. එමෙන්ම එල්.ටී.ටී.ඊ.ය දුර්වල කළ පිල්ලෙයාන් වැනි අය රැඳවුම් නියෝග මත රඳවාගෙන පීඩාවට පත් කරති. උතුරේ එල්.ටී.ටී.ඊ.යට අභියෝග කළ එකම දෙමළ නායකයා වූ ඩග්ලස් දේවානන්දාට පවා බන්ධනාගාරගත වීමට සිදුවූයේ මෙහි ම දිගුවක් ලෙස ය. මේ එල්.ටී.ටී.ඊ.ය පැරදවූ පලිය ගැනීම සඳහා වැඩි වශයෙන් යොදාගෙන ඇත්තේ රාජ්‍යයේ ම නීතිය ක්‍රියාත්මක කිරීමේ පද්ධතියයි. ජාත්‍යන්තර බටහිර බලවතුන් එල්.ටී.ටී.ඊ.යේ පරාජයට දායක වූ හමුදා නිලධාරීන්ට සම්බාධක පනවමින්, වීසා තහනම් කරමින් සිටීමත්, මේ දේශීයව ඔවුන්ට වන හිරිහැරත් එකම හස්තයකින් පාලනය වන බවට සාධාරණ සැකයක් ඇතිවීම වැළැක්විය නොහැක.

විවිධ බලවේගවල ඉත්තන් බවට පත්වී දේශප්‍රේමීන්ට අනේකවිධ හිංසා පීඩා කරන්නට රාජ්‍ය පද්ධතිය හා රාජ්‍ය බලය යොදවන පාලකයන්ට පෙන්වා දිය යුතු ඓතිහාසික ලේඛනයක් තිබේ. ඒ පනාකඩුව තඹ සන්නසයි. ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටි සොළී අධිරාජ්‍යයේ පාලන යුගය නිමාකර රට එක්සේසත් කළ මහා විජයබාහු රජතුමා සිහසුනට පැමිණ විසිහත්වන වසරේ දී නිකුත් කළ රාජ ආඥාවක් පනාකඩුව තඹ සන්නසේ ඇතුළත් ව ඇත. විජයබාහු නමින් රජ වූ කීර්ති කුමාරයාව බාල වියේ සිට සතුරන්ගෙන් ආරක්ෂා කර ගනිමින්, වනමුල් වනපලා ආදියෙන් පෝෂණය කරමින්, රට ආක්‍රමණිකයන්ගෙන් බේරා ගැනීම සඳහා ඇවැසි නායකත්වය ආරක්ෂා කරගනිමින් රජ කුමරුන් ඇතුළු පවුලට කළ විශිෂ්ට මෙහෙවර උදෙසා, රුහුණේ සිත්නරුබිම් බුදල්නාවන් දණ්ඩනායකයාට හා ඔහුගෙන් පැවත එන්නන්ටත් හිමිවන පරිදි, දඩයක් ගෙවීමට අවස්ථාවක් උදාවුණොත් දඩ නොගැනීමටත්, සිරගෙයි ලන හෝ මරණ දණ්ඩනයෙන් දඬුවම් කළ හැකි වරදට පවා තුන්වරක් දක්වා සමාව ප්‍රදානය කිරීමටත්, රාජද්‍රෝහී වරදට පවා අභයදානය දී රජු විසින් ම ඔහුව පිටුවහල් කළ යුතු විනා නිග්‍රහ නොකළ යුතු බවටත් සඳහන් කර ඉහත සන්නස නිකුත් කර ඇත.

මෙසේ විවිධ බලවේගවල ඉත්තන් බවට පත්වී දේශප්‍රේමීන්ට අනේකවිධ හිංසා පීඩා කරන්නට රාජ්‍ය පද්ධතිය හා රාජ්‍ය බලය යොදවන පාලකයන්ට පෙන්වා දිය යුතු ඓතිහාසික ලේඛනයක් තිබේ. ඒ පනාකඩුව තඹ සන්නසයි. ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටි සොළී අධිරාජ්‍යයේ පාලන යුගය නිමාකර රට එක්සේසත් කළ මහා විජයබාහු රජතුමා සිහසුනට පැමිණ විසිහත්වන වසරේ දී නිකුත් කළ රාජ ආඥාවක් පනාකඩුව තඹ සන්නසේ ඇතුළත් ව ඇත. විජයබාහු නමින් රජ වූ කීර්ති කුමාරයාව බාල වියේ සිට සතුරන්ගෙන් ආරක්ෂා කර ගනිමින්, වනමුල් වනපලා ආදියෙන් පෝෂණය කරමින්, රට ආක්‍රමණිකයන්ගෙන් බේරා ගැනීම සඳහා ඇවැසි නායකත්වය ආරක්ෂා කරගනිමින් රජ කුමරුන් ඇතුළු පවුලට කළ විශිෂ්ට මෙහෙවර උදෙසා, රුහුණේ සිත්නරුබිම් බුදල්නාවන් දණ්ඩනායකයාට හා ඔහුගෙන් පැවත එන්නන්ටත් හිමිවන පරිදි, දඩයක් ගෙවීමට අවස්ථාවක් උදාවුණොත් දඩ නොගැනීමටත්, සිරගෙයි ලන හෝ මරණ දණ්ඩනයෙන් දඬුවම් කළ හැකි වරදට පවා තුන්වරක් දක්වා සමාව ප්‍රදානය කිරීමටත්, රාජද්‍රෝහී වරදට පවා අභයදානය දී රජු විසින් ම ඔහුව පිටුවහල් කළ යුතු විනා නිග්‍රහ නොකළ යුතු බවටත් සඳහන් කර ඉහත සන්නස නිකුත් කර ඇත.

ආක්‍රමණිකයන් අතේ තිබූ රාජ්‍යය නිදහස් කර ගැනීමට ශක්තිය ඇති කුමාරයෙකුට ආරක්ෂාව සැපයූ, පෝෂණය කළ නායකයෙකුට එදා මේ අන්දමින් සැලකූ රාජ්‍ය සම්ප්‍රදායක් සහිත රටක්, මෙදා ත්‍රස්තවාදය තුරන් කර ජනතාවට සාමකාමීව ජීවත්විය හැකි රටක් බවට පත්කිරීමට ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ ජන නායකයන්ට හා රණවිරුවන්ට හිංසා පීඩා හා හිරිහැර කරන නිවට රාජ්‍යයක් බවට පත්කළේ කවුරුන්දැයි සිතා බැලීම ජනතාවට භාර ය.

සුනිල් කන්නන්ගර කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති

ඉරා අදුරුපට