රට නැවතත් මුහුණ දී ඇති භයානක ආර්ථික අවදානම හමුවේ ඊට හදිසි ජාතික විසඳුම් සකස් කිරීම සඳහා වහාම සර්වපාක්ෂික සමුළුවක් කැඳවන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටී.ඊයේ (21) පැවැති විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව සිය නිල X (ට්විටර්) ගිණුමේ විශේෂ පණිවුඩයක් තබමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර තිබේ.රටේ පවතින වත්මන් තත්ත්වය තවදුරටත් උග්‍ර වීමට පෙර ඊට සාමූහිකව මුහුණ දිය යුතු බව විපක්ෂයේ පක්ෂ නායකයන් මෙහිදී අවධාරණය කර ඇත.එම සාකච්ඡාව සම්බන්ධයෙන් කරුණු දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තැබූ X පණිවුඩයේ මෙසේ සඳහන් වේ:
“අද විපක්ෂයේ සියලු පක්ෂ සාමූහිකව සාකච්ඡා කළේ රට නැවතත් භයානක ආර්ථික අනතුරු ඇඟවීමක් ඉදිරියේ සිටින බැවිනි. රුපියලේ වේගවත් අවප්‍රමාණය වීම, ජීවන වියදම් පීඩනය ඉහළ යාම සහ වර්ධනය වන ආර්ථික අවිනිශ්චිතතාව කිසිසේත්ම පක්ෂවාදී ප්‍රශ්නයක් ලෙස සැලකිය නොහැක. එබැවින්, මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වීමට පෙර හදිසි ජාතික විසඳුම් සකස් කිරීම සඳහා වහාම සර්වපාක්ෂික සමුළුවක් කැඳවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් විධිමත් ලෙස ඉල්ලා සිටීමට අප තීරණය කළෙමු.”
වත්මන් ආර්ථික අර්බුදය දේශපාලන පක්ෂ භේදයකින් තොරව පොදුවේ රටට බලපාන ජාතික ගැටලුවක් බැවින්, රජය මීට කඩිනමින් ප්‍රතිචාර දක්වනු ඇතැයි විපක්ෂය අපේක්ෂා කරයි.