රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට සිරස කැමරා ශිල්පියකුගෙන් ප්‍රහාරයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් පවරා ඇති නඩුව අද (30) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවා අවසන් වීමෙන් අනතුරුව, ඔහුගේ ආරක්ෂාවේ යෙදී සිටි නිලධාරියකුට රූපවාහිනී කැමරා ශිල්පියකු විසින් කැමරාවකින් පහර දුන් බවට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබේ.කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගේට්ටුව ආසන්නයේදී මෙම සිද්ධිය සිදුව ඇති අතර, ප්‍රහාරයට ලක් වූ ආරක්ෂක නිලධාරියා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂය විසින්ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ප්‍රකාශයට පත් කර තිබේ.වාර්තා වන පරිදි සිරස මාධ්‍ය ජාලයට අනුයුක්ත කැමරා ශිල්පියකු මෙම ප්‍රහාරයට සම්බන්ධ වී ඇතැයි පැමිණිල්ලේ සඳහන් වන අතර, එම අවස්ථාව වෙනත් මාධ්‍යවේදීන්ගේ කැමරාවලද සටහන් වී ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි. මේ අතර, රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ පවරා ඇති නඩුව අද කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කැඳවා තිබිණ. 2023 වසරේදී බ්‍රිතාන්‍යයේ පැවති වික්‍රමසිංහ මහතාගේ බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගි වීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 16.6කට අධික රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනා මෙම නඩුවට අදාළය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ අවසන් කර අදාළ ලිපිගොනු නීතිපතිවරයා වෙත යොමු කර ඇති අතර, නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා නඩුව නොවැම්බර් 11 වැනිදා යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේය. ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන්ද පොලිස් පරීක්ෂණ පැවැත්වෙන අතර, හිටපු ජනාධිපතිවරයා අධිකරණයට පැමිණීමේදී සහ පිටව යාමේදී ආරක්ෂක සැලසුම් ප්‍රමාණවත් වූයේද යන්න පිළිබඳවද අවධානය යොමු වී තිබේ.

කාලීන පුවත්