රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටි කාලය තුළ සිදු වූ බව කියන වධ හිංසා සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම සිදු කරන විමර්ශනයට අදාළ සාක්ෂි විභාගය සඳහා ඔහුගේ බිරිඳ මනෝරි සලේ මහත්මිය, නීතීඥ මඩුල්ල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොමිසම වෙත කැඳවා තිබේ. එහිදී පසුගිය මාර්තු 08 වැනිදා සුරේෂ් සලේ මහතාව අනෙකුත් සියලුම රැඳවියන් ඉදිරියේ ශරීර පරීක්ෂාවකට ලක් කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිළිගත් බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මඩුල්ල ප්‍රකාශ කොට තිබේ. මෙම සිද්ධිය පාදක කරගෙන මානව හිමිකම් කොමිසම විසින් මෙවැනි සෝදිසි කිරීම්වල සම්මත ක්‍රියා පටිපාටිය, 2026 වසර තුළ සිදු කරන ලද සෝදිසි කිරීම්වලට අදාළ වාර්තා හා CCඨ්V දර්ශන, මාර්තු 08 වැනිදා සුරේෂ් සලේ මහතාව සෝදිසි කිරීමට ලක් කළ නිලධාරීන්ගේ නම් සහ රැඳවුම් නියෝගයට අදාළ ලේඛන ලබන 26 දිනට පෙර ඉදිරිපත් කරන ලෙස අදාළ නිලධාරීන්ට දැනුම් දී ඇත.
මේ අතර සුරේෂ් සලේ මහතාට සිදුවන බව කියන අමානුෂික වධ හිංසා පිළිබඳව දැනටමත් අභියාචනාධිකරණයට, මහේස්ත්‍රාත් අධිකරණයට සහ මානව හිමිකම් කොමිසමට දැනුම් දී ඇති අතර, 2026 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත එක්සත් ජාතීන්ගේ වධ හිංසා පිළිබඳ විශේෂ නියෝජිතයාට ඉදිරිපත් කිරීම සඳහා වාර්තාවක් සකස් කරමින් පවතින බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අනාවරණය කර ඇත. තවද, සුරේෂ් සලේ මහතා මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බවත්, ඔහුට ප්‍රමාණවත් ආහාර නොලැබෙන බවත්, රාත්‍රී 10න් පසු වැසිකිළි භාවිතයට පවා අවසර නොමැති වීමෙන් දරුණු මලබද්ධය සහ ශාරීරික සංකූලතා හටගෙන ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාවේ සඳහන් වන බව ඔහුගේ බිරිඳ පොලිස්පතිවරයාට යොමු කළ ලිඛිත පැමිණිල්ලේ දැක්වේ.