සාම චාරිකා මහා සංඝරත්නය සහ ‘ආලෝකා’ අද හිමිදිරියේ දිවයිනට

ලෝකවාසී ජනතාව අතර සාමය, මෛත්‍රිය සහ අවිහිංසාව පතුරුවාලීමේ උදාර අරමුණින් සංවිධානය කර ඇති “සාමය සඳහා වූ ගෝලීය පා ගමන” (Global Walk for Peace) සඳහා සහභාගී වන පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු හිමි වරුන් හත් නමක් සහ එම දූත පිරිසට එක්වන “ආලෝකා” නම් සුනඛයා අද (21) හිමිදිරියේ දිවයිනට පැමිණියහ. තුර්කි ගුවන් සේවයට අයත් TK-730 දරන ගුවන් යානයෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම පිරිස පිළිගැනීම සඳහා විශේෂ ආගමික සහ රාජ්‍ය මට්ටමේ වැඩපිළිවෙළක් සංවිධානය කර තිබුණි. මීට පෙර ඇමරිකා එක්සත් ජනපදය පුරා සැතපුම් 2,300ක ඓතිහාසික පා ගමනක නිරත වෙමින් ජාත්‍යන්තර අවධානය දිනාගත් මෙම කණ්ඩායම, අප්‍රේල් 21 සිට 28 දක්වා ශ්‍රී ලංකාව තුළ සිය සාම චාරිකාව පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

පූජ්‍ය ආචාර්ය මේල්පිටියේ විමලකිත්ති ස්වාමීන් වහන්සේ සඳහන් කරන පරිදි, මෙම ජාතික වැඩසටහනේ මූලික පියවර අද පෙරවරුවේ අත්තනගල්ල රාජමහා විහාරයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකින් අනතුරුව ආරම්භ වේ. අද පස්වරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී සාමයේ පණිවිඩය සංකේතවත් කරන පූජනීය බෝධි අංකුරයක් ලබා ගැනීම සහ අටමස්ථානාධිපති නායක හිමිපාණන් වහන්සේලාගේ ආශිර්වාදය ලබා ගැනීම සිදු කෙරේ. අනතුරුව රුවන්වැලි මහා සෑ රදුන් අභියස වත්පිළිවෙත් ඉටු කිරීමෙන් පසු දූත පිරිස දඹුල්ල බලා වැඩම කිරීමට නියමිතය. මෙම චාරිකාව අප්‍රේල් 22 දින මාතලේ අලුවිහාරයෙන් ආරම්භ වී, 23 දින මහනුවර ශ්‍රී දළදා මාලිගාව වෙත ළඟා වීමට නියමිත අතර එහිදී මල්වතු සහ අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමට කටයුතු යොදා ඇත.

අප්‍රේල් 24 වනදා සිට මාවනැල්ල බෙලිගම්මන, තොලංගමුව සහ යක්කල හරහා කැලණිය රාජමහා විහාරය දක්වා ගමන් ගන්නා මෙම පා ගමන, අප්‍රේල් 28 වනදා පස්වරු 4:00 ට කොළඹ නිදහස් චතුරස්‍රයේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රාජ්‍ය උත්සවයකින් සමාප්ත වීමට නියමිතය. එහිදී ඇමරිකානු දූත පිරිස වෙත පූජනීය බෝධි අංකුරය සහ සර්වඥ ධාතූන් වහන්සේලා නිල වශයෙන් පූජා කෙරෙන අතර, අනතුරුව එම පූජනීය වස්තූන් පෙරහැරකින් හුණුපිටිය ගංගාරාමයට වැඩම කරවනු ඇත. මැයි මස 1 වනදා මෙරටින් නික්ම යන මෙම දූත පිරිස, මැයි 2 සිට 10 දක්වා ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැවැත්වෙන වෙසක් උත්සවය සඳහා ද සහභාගී වීමට නියමිතය. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක සහයෝගය හිමිව තිබේ.

කාලීන පුවත්