සුරේෂ් සලේ උපවාසය අවසන් කරයි

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විශේෂ විමර්ශන යටතේ මේ වන විට රැඳවුම් භාරයේ පසුවන හිටපු රාජ්‍ය බුද්ධි සේවා (SIS) ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා තමන් ආරම්භ කර තිබූ මාරාන්තික උපවාසය (ආහාර වර්ජනය) අද (1) අවසන් කර තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමෙන් පසු ඔහු මෙම ආහාර වර්ජනය ආරම්භ කර තිබූ අතර, සිය නීතිඥ මණ්ඩලය දිගින් දිගටම කළ නීතිමය පෙන්වාදීම්, උපදෙස් සහ කරුණු පැහැදිලි කිරීම් සැලකිල්ලට ගනිමින් ඔහු මෙම තීරණයට එළඹ ඇත. ඔහුගේ නීතිඥවරුන් පවසන්නේ පවතින සෞඛ්‍යමය අවදානම සහ නීතිමය ක්‍රියාවලියේ ඊළඟ පියවරයන් සැලකිල්ලට ගෙන උපවාසය නතර කරන ලෙස තමන් ඔහුගෙන් දිගින් දිගටම ඉල්ලා සිටි බවයි.මෙම නවතම වර්ධනයත් සමඟ සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කරන විශේෂ වෛද්‍ය කණ්ඩායම මේ පිළිබඳව කඩිනමින් දැනුවත් කර ඇති අතර, ඔවුන් මේ වන විට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටියි. ඊට අමතරව, සලේ මහතා සම්බන්ධයෙන් ඉදිරි නෛතික පියවර ගන්නා සහ ප්‍රශ්න කිරීම් සිදුකරන ප්‍රධාන විමර්ශන නිලධාරීන් වෙත ද මෙම තීරණය පිළිබඳව ඔහුගේ නීතිඥවරුන් විසින් නිල වශයෙන් දැනුම් දී තිබේ. විමර්ශන නිලධාරීන් ඉදිරි ප්‍රශ්න කිරීම් සහ නෛතික කටයුතු සඳහා සූදානම් වන බව වාර්තා වන නමුත්, මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් තවමත් නිල නිවේදනයක් නිකුත් කර නොමැත.

කාලීන පුවත්