අස්ගිරි මහනාහිමිගෙන් ජනපතිට ලිපියක්: සුරේෂ් සලේ වෙනුවෙන් සහනයක් ඉල්ලයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නාහිමියන් විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.මහ නාහිමිපාණන් වහන්සේ එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ, සුරේෂ් සලේ මහතාගේ බිරිඳ මෑතකදී මහනුවර අස්ගිරි මහා විහාරයට පැමිණ තමන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව සිය ස්වාමියා වෙනුවෙන් ආයාචනයක් ඉදිරිපත් කළ බවයි.එම හමුවේදී ඇය සඳහන් කර ඇත්තේ, තම ස්වාමියා වන සුරේෂ් සලේ මහතා හට යම් සහනයක් ලබා දීම සඳහා මැදිහත් වන ලෙසයි. තමන් වහන්සේ වෙතින් සිදුකළ එම ඉල්ලීම අනුව, සලේ මහතාගේ බිරිඳගේ ආයාචනය ජනාධිපතිවරයා වෙත යොමු කර ඒ සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා ලෙස අස්ගිරි මහානායක හිමියෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති.විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා 2019 සිට 2022 දක්වා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අතර, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කළ විවිධ කොමිෂන් සභා වාර්තා සහ ඉන් අනතුරුව සිදුවූ නීතිමය ක්‍රියාමාර්ගවලදී ඔහුගේ නම නිරන්තරයෙන් කතාබහට ලක්විය.මෙම ලිපිය සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ ප්‍රතිචාරය මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.

කාලීන පුවත්