ශ්රී ලංකාවේ ජීවත්වන විශාලතම හා උසින් වැඩිම වන ඇතකු ලෙස ප්රකට ‘කාවන්තිස්ස’ මහ ඇතා බරපතළ රෝගී තත්ත්වයකට පත්ව සියඹලන්ගමුව ප්රදේශයේ කුඹුරු යායක ඇදවැටී සිටියදී අද (16) උදෑසන සොයාගෙන තිබේ.කාවන්තිස්ස ඇතාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්යවරුන් ඇතුළු නිලධාරීන් අඛණ්ඩව ප්රතිකාර හා නිරීක්ෂණ කටයුතුවල නිරතව සිටින බව වාර්තා වේ. ඇතාගේ තත්ත්වය බරපතළ වී ඇති බැවින් ඔහුට අවශ්ය වෛද්ය ප්රතිකාර අඛණ්ඩව ලබාදීමට පියවර ගෙන තිබේ.ගල්ගමුව, ගිරිබාව සහ මීගලෑව ඇතුළු ප්රදේශවල සැරිසරන කාවන්තිස්ස ඇතාගේ ඉදිරි දකුණු පාදයේ ඇතිවූ තුවාලයකට පසුගිය සැප්තැම්බර් 24 වැනිදා සිට ප්රතිකාර ආරම්භ කර තිබිණි. එම තුවාලය වෙඩි වැදීමකින් සිදුවූවක් බවට වාර්තා පළවූ අතර, පසුව සිදුකළ ප්රතිකාර හමුවේ පාදයේ තුවාලය යම්තාක් දුරට සුව අතට හැරී තිබූ බව සඳහන් වේ.කෙසේ වෙතත්, පසුගිය දින කිහිපය තුළ ඇතා ආහාර ගැනීම අඩු කිරීම ඇතුළු වෙනත් රෝගී ලක්ෂණ පෙන්නුම් කර තිබේ. පාදයේ තුවාලය සුව අතට හැරෙමින් පැවතියද, ඇතාගේ සමස්ත සෞඛ්ය තත්ත්වය යහපත් නොවීම බලධාරීන්ගේ දැඩි අවධානයට ලක්ව ඇත.ඒ අනුව, තුවාලයෙන් පසු ඇතිවූ සංකූලතා සහ ඇතාගේ වත්මන් රෝගී තත්ත්වය පාලනය කිරීම සඳහා පශු වෛද්ය කණ්ඩායම් අඛණ්ඩව මැදිහත්ව සිටිති. කෙසේ වෙතත්, බෝවන රෝගයක් තහවුරු වී ඇති බවට නිල වෛද්ය නිගමනයක් මේ වන විට ප්රසිද්ධියේ තහවුරු වී නොමැත.පරිසර අමාත්යාංශය සම්බන්ධයෙන් පළවූ වාර්තාවලට අනුව, කාවන්තිස්ස ඇතාගේ ජීවිතය බේරාගැනීමේ අරමුණින් විශේෂඥ පශු වෛද්ය කණ්ඩායම් පැය 24 පුරා ප්රතිකාර කටයුතු සිදුකරමින් සිටිති. සේලයින් සහ අත්යවශ්ය ඖෂධ ලබාදීම ඇතුළු ප්රතිකාර ක්රමවේද ඒ සඳහා යොදාගෙන ඇති බව වාර්තා වේ.ඇතාගේ සෞඛ්ය තත්ත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කරමින් ඉදිරි වෛද්ය ක්රියාමාර්ග තීරණය කිරීම කෙරෙහි ද අවධානය යොමුකර තිබේ. පරිසර අමාත්ය වෛද්ය ධම්මික පටබැඳි මහතා ද ඇතාට ප්රතිකාර ලබාදෙන ස්ථානයට ගොස් තත්ත්වය නිරීක්ෂණය කර ඇති බව වාර්තා වේ.මේ අතර මෙම ඇතා 2013 වසරේ දී වන ගැබ තුළ සිටිය දී මුල් වරට හඳුනා ගෙන ඔහුට කාවන්තිස්ස යන නම තැබූ විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අද පෙරවරුවේම ඇතා වැටී සිටින ස්ථානයට පැමිණ ඇති අතර සුප්රකට ව්යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා ද කාවන් තිස්ස ගේ ජීවිතය බේරා ගැනීම සම්බන්ධයෙන් ඕනෑම පරිත්යාගයක් කිරීමට ඉදිරිපත් ව සිටියි.