පුත්තලම දිස්ත්‍රික්කයේ ආනවිලුන්දාව රැම්සා තෙත් බිම් අභයභූමියේ මයියාව වැව් පිටිය ප්‍රදේශයේ පසුගිය 19 වැනිදා හටගත් ගින්න පාලනය කිරීම සඳහා වනජීවී නිලධාරීන් ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව දැඩි මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටිති.
අක්කර 07ක පමණ භූමි ප්‍රදේශයකට පැතිර ඇති මෙම ගින්න පාලනය කිරීම සඳහා හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, හලාවත ප්‍රාදේශීය සභාව, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාව සහ හලාවත ගිනි නිවීමේ ඒකකය ඇතුළු ආයතන එක්ව කටයුතු කරති.ජල බවුසර් සහ ට්‍රැක්ටර් යොදා ගනිමින් ගින්නට ජලය ඉසීම සිදුකරන අතර, මයියාව සහ බෝගහවැටිය ප්‍රදේශවල ජනතාව ද නිලධාරීන් සමඟ එක්ව ගින්න මැඩපැවැත්වීම සඳහා දැඩි වෙහෙසක් දරමින් සිටිති.ගින්න තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් ගිනි පටි සකස් කර අවට භූමිය වෙන් කිරීමේ කටයුතු ද සිදුකර තිබේ. එහෙත් පවතින අධික සුළං තත්ත්වය සහ අවට පරිසරයේ උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් ගින්න සම්පූර්ණයෙන් පාලනය කිරීම අසීරු වී ඇති බව ප්‍රදේශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.ගින්න පැතිර ඇති ඇතැම් ප්‍රදේශ සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති නමුත් සුළං හමන දිශාවට අනුව තවත් ස්ථාන වෙත ගිනිදැල් පැතිර යාමේ අවදානමක් පවතී. පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ ගින්න ඊයේ දිනයේ සිට වඩාත් වර්ධනය වී ඇති අතර, ගින්න තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් දිවා රෑ නොබලා මෙහෙයුම්වල නිරතව සිටිති.ආනවිලුන්දාව තෙත් බිම් පද්ධතිය ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයෙන් ඉහළ වැදගත්කමක් ඇති තෙත් බිම් පරිසර පද්ධතියකි. රැම්සා තෙත් බිමක් ලෙස ජාත්‍යන්තර වැදගත්කමට පත් කර ඇති මෙම ප්‍රදේශය ජලජ හා සංක්‍රමණික පක්ෂීන් ඇතුළු විවිධ සත්ත්ව හා ශාක විශේෂ සඳහා වැදගත් වාසස්ථානයක් වන අතර, එහි තෙත් බිම් පද්ධතිය මිරිදිය ජලාශ, වගුරු බිම් සහ වෙරළාසන්න පරිසර පද්ධති සමඟ සම්බන්ධ වූ සුවිශේෂී පරිසර පද්ධතියක් ලෙස සැලකේ. රැම්සා ලේඛනවලට අනුව ආනවිලුන්දාව තෙත් බිම ජාත්‍යන්තර වශයෙන් වැදගත් ජලජ පක්ෂීන්ගේ වාසස්ථානයක් වන අතර එහි ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම විශේෂ වැදගත්කමක් ගනී.ආනවිලුන්දාව තෙත් බිම් ප්‍රදේශය මීට පෙරද ගිනි අවදානමට මුහුණ දී ඇති බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ රැම්සා තෙත් බිම් පිළිබඳ වාර්තාවක සඳහන් වේ. එම වාර්තාවේ 2017 සහ 2018 වසරවලදී ආනවිලුන්දාව ඇතුළු ප්‍රදේශ කිහිපයක හෙක්ටයාර් 20ක පමණ භූමි ප්‍රමාණයක් ගිනි ගැනීමට ලක්ව ඇති බවත්, එවැනි අවස්ථාවල ගිනි පාලනය සඳහා පහසුකම් ප්‍රමාණවත් නොවීම පිළිබඳව නිරීක්ෂණය වී ඇති බවත් සඳහන් කර ඇත.
මෙවර ගින්න සම්බන්ධයෙන්ද වියළි කාලගුණය සහ තද සුළං හේතුවෙන් ගිනි පාලන මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇති අතර, ගින්න තවදුරටත් ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය වී තිබේ. පසුගිය 20 වැනිදා වන විට ගින්න පාලනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව ද එක් කර ගනිමින් විශේෂ ඒකාබද්ධ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබූ අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මඟින් මුහුදු ජලය රැගෙන ගොස් ගිනි පැතිරුණු ප්‍රදේශවලට මුදාහැරීමේ කටයුතුද සිදුකර තිබුණි.මෙවැනි ජෛව විවිධත්වයෙන් අනූන හා ජාත්‍යන්තර වැදගත්කමක් හිමි තෙත් බිම් පරිසර පද්ධතියක් ආරක්ෂා කර ගැනීම සඳහා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු අවට රාජ්‍ය ආයතනවල නිලධාරීන් සහ මයියාව, බෝගහවැටිය ඇතුළු අවට ගම්මානවල ජනතාව ලබාදෙන සහයෝගය විශේෂයෙන් අගය කළ යුතු බව ප්‍රදේශවාසීහු පවසති.ගින්න සම්පූර්ණයෙන් පාලනය කර ගැනීමෙන් පසු එහි පාරිසරික බලපෑම සහ හානිය පිළිබඳව විධිමත් තක්සේරුවක් සිදුකිරීමත්, මෙවැනි සංවේදී තෙත් බිම් ප්‍රදේශවල වියළි කාලවලදී ගිනි අවදානම අවම කිරීම සඳහා ස්ථිර ගිනි පටි, ජල පහසුකම් සහ කඩිනම් ප්‍රතිචාර යාන්ත්‍රණ තවදුරටත් ශක්තිමත් කිරීමත් වැදගත් වනු ඇත.