ඉදිරි ජනපතිවරණයේ ප්‍රතිඵල තීරණය කෙරෙන ආණ්ඩුවේ අධිවේගී මාර්ග සංවර්ධනය

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග ඉතිහාසය ඉතා කෙටි කාල පරාසයකට හිමිකම් කියන්නකි. අදටත් එය අප සමාජයට කෙතරම් නුහුරුද යත්, අධිවේගී මාර්ග සඳහා භාවිත කෙරෙන ප්‍රකට ඉංග්‍රීසි වදන ලෙස බොහෝ දෙනා තවමත් මහා මාර්ග සඳහා යෙදෙන ‘Highway’ යන්න භාවිත කරති. නමුත් ඒ සඳහා නිවැරදි ඉංග්‍රීසි වදන වනුයේ ‘Expressway’ යන්නයි. ඒ අනුව මෙරට මුල්ම E වර්ගයේ අධිවේගී මාර්ගය ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු 2003 වසරේ මාර්තු 8 වන දින කුරුඳුගහහැතැප්ම ප්‍රදේශයෙන් ආරම්භ විය. ඉන් අනතුරුව, 2011 වසරේ නොවැම්බර් 27 වන දින එහි කොට්ටාව සිට පින්නදූව දක්වා වූ ප්‍රථම කොටස විවෘත කරමින් ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග භාවිතය නිල වශයෙන් සනිටුහන් කෙරිණි. ඒ දසකුත් එකක් දේශපාලනික අවලාද මධ්‍යයේය.

2024 වසර වන විට මෙරට ක්‍රියාත්මක වූ සමස්ත අධිවේගී මාර්ග ජාලයේ මුළු දිග ප්‍රමාණය කිලෝමීටර් 312.57ක් දක්වා ව්‍යාප්ත වී තිබුණි. ඒ යටතේ කොට්ටාව සිට මත්තල දක්වා කිලෝමීටර් 200.45ක දිගකින් යුත් E01 දක්ෂිණ අධිවේගී මාර්ගය 2011-2020 කාලයේදීත්, කොට්ටාව සිට කෙරවලපිටිය දක්වා කිලෝමීටර් 28.8ක දිගකින් යුත් E02 පිටත වටරවුම් අධිවේගී මාර්ගය 2014-2019 කාලයේදීත් සහ පෑලියගොඩ සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා කිලෝමීටර් 25.8ක් දිගු E03 කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය 2013 වසරේදීත් සාර්ථකව ක්‍රියාත්මක විය. මීට අමතරව කිලෝමීටර් 40.9ක දිගකින් යුත් E04 මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම-කුරුණෑගල කොටස 2022 වසරේදීත්, අන්දරවැව සිට හම්බන්තොට දක්වා වූ කිලෝමීටර් 16.5ක දිගකින් යුත් E06 හම්බන්තොට අධිවේගී මාර්ගය 2019 වසරේදීත් විවෘත වී ප්‍රවාහන පද්ධතියට එක්ව තිබුණි. නමුදු අතීතයේ අධිවේගී මාර්ග පිළිබඳව පැතිර ගිය නුගුණ මේ වන විට ඇසෙන-නෑසෙන තත්ත්වයට පත්ව තිබේ.

කෙසේ වෙතත්, 2022 වසරේ මැද භාගයේදී මෙරට වෙලාගත් දරුණු ආර්ථික අර්බුදයත් සමඟ විදේශීය ණය පහසුකම් අත්හිටුවීම හේතුවෙන් මෙරට අධිවේගී මාර්ග පද්ධතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් වන මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර වූ කඩවත සිට මීරිගම දක්වා කිලෝමීටර් 37ක සුවිශේෂී කොටසේ සියලු ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටියේය. ව්‍යාපෘතිය නතර වන විට එහි සමස්ත ප්‍රගතිය සියයට 51ක් ලෙස මීට පෙර සඳහන් වුවද, පසුගියදා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක  පවසා සිටියේ 2025 වසරේ අග වන විට එහි සැබෑ සම්පූර්ණ වීම පැවතියේ සියයට 40ක පමණ මට්ටමක බවයි. නමුත් වසර තුනකට ආසන්න කාලයක් පුරා නිහඬව, පාළුවට ගොස් තිබූ මෙම මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියට යළි පණ දෙමින්, එහි වැඩකටයුතු පූර්ණ වේගයකින් ඉදිරියට රැගෙන යාම සඳහා වත්මන් මාලිමා රජය මේ වන විට සියලු කටයුතු ලැහැස්ති කර තිබේ. ඒ මාලිමා ආණ්ඩුව මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් දක්වන උදාසීන බව පිළිබඳ ප්‍රබල සමාජ කතිකාවක් හටගෙන ඇති පසුබිමක ය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඇනහිට තිබූ වැඩකටයුතු නැවත ආරම්භ කිරීමේ නීතිමය හා මූල්‍යමය පදනම සකස් වූයේ ශ්‍රී ලංකා රජය සහ චීන අපනයන-ආනයන එක්සිම් (Exim) බැංකුව අතර ඇති කරගත් නව සංශෝධිත ගිවිසුම හරහාය. මෙම නව එකඟතාව යටතේ චීන එක්සිම් බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 500කට සමාන යුවාන් ණය මුදලක් අනුමත කර ඇති අතර, ඊට සමගාමීව ශ්‍රී ලංකා රජය ද ඇමෙරිකානු ඩොලර් මිලියන 438ක මූල්‍ය දායකත්වයක් සපයමින් ව්‍යාපෘතිය ශක්තිමත් කර ඇත. මීට අමතරව වත්මන් රජය 2026 අයවැය මඟින් පමණක් මෙම කඩවත-මීරිගම කොටස වෙනුවෙන් රුපියල් බිලියන 66.15ක දැවැන්ත මුදලක් වෙන් කර ඇති අතර, සමස්ත අධිවේගී මාර්ග සංවර්ධනය වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 342කි.

මෙම සාර්ථක ප්‍රතිඵලය ළඟා කරගැනීම සඳහා දෙපාර්ශ්වය අතර ඉහළ පෙළේ සාකච්ඡා වට කිහිපයක්ම මේ වන විට පවත්වා තිබේ. විශේෂයෙන්ම චීන එක්සිම් බැංකුවේ උප සභාපතිනී යැං ඩොංනින් ප්‍රමුඛ දූත පිරිසක් ලංකාවට පැමිණ, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් සමඟ විශේෂ සාකච්ඡා පවත්වා තිබේ. වසර කිහිපයක් තිස්සේ ව්‍යාපෘතිය ප්‍රමාද වීම නිසා එකතු වූ දඩ මුදල් සහ රුපියල අවප්‍රමාණය වීම නිසා ඉහළ ගිය පිරිවැය කළමනාකරණය කරගැනීම මෙහි ප්‍රධාන අභියෝගය විය. රජයේ ආරංචි මාර්ග තහවුරු කරන්නේ එම අමතර පිරිවැය සහ දඩ මුදල් මෙරටට බරක් නොවන අයුරින් “සහනදායී කොන්දේසි සහ ආපසු ගෙවීමේ නම්‍යශීලී පදනමක්” යටතේ සකස් කරගැනීමට හැකි වූ බවයි. මෙම නීතිමය සහ මූල්‍යමය කරුණු සූක්ෂ්ම ලෙස සාකච්ඡා කිරීමට යම් කාලයක් ගත වුවද, අවසානයේදී එය සාර්ථක කරගැනීමට රජයට හැකි වූ බව ද රජයේ පාර්ශ්වයෙන් ප්‍රකාශ වී තිබේ.

ඒ අනුව, සැලසුම් කර තිබූ පරිදිම 2025 සැප්තැම්බර් 17 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් සහ චීන තානාපති කි ෂෙන්හොන්ග් ගේ සහභාගීත්වයෙන් කඩවත-මීරිගම කොටසේ ඉදිකිරීම් නිල වශයෙන් යළි ආරම්භ කරන ලදී. එදිනම කඩවත අන්තර් හුවමාරුව සහ පළමු මීටර් 500 කොටසේ වැඩකටයුතු ද ආරම්භ වූ අතර, මීට පෙර ද මෙහි ප්‍රධාන කොන්ත්‍රාත්කරු ලෙස කටයුතු කළ චීන මෙටලර්ජිකල් කෝපරේෂන් (MCC) සමාගමම අඛණ්ඩව මෙහි ඉදිකිරීම් සිදු කරයි. ජනාධිපතිවරයා මෙම අවස්ථාව හැඳින්වූයේ ව්‍යාපෘතියේ “අඩු කාර්යක්ෂමතාවයේ සිට පූර්ණ වේගයකට හැරවුම් ලක්ෂයක්” ලෙසයි. නැවත ඇරඹුණු ව්‍යාපෘතිය සඳහා පැහැදිලි නව කාලසටහනක් සහ ඉලක්ක මාලාවක් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව 2026 වසරේ අවසානය වන විට ව්‍යාපෘතියේ සමස්ත ප්‍රගතිය සියයට 65 දක්වා ඉහළ නැංවීමටත්, 2027 වසරේ පළමු කාර්තුව තුළ පොතුහැර-රඹුක්කන කොටස නිම කිරීමටත් සැලසුම් කර තිබේ. අනතුරුව 2027 වසර අවසන් වන විට කඩවත-මීරිගම ව්‍යාපෘතියෙන් සියයට 90ත් 95ත් අතර ප්‍රමාණයක් අවසන් කර, 2028 වසරේ මැද භාගය හෝ සැප්තැම්බර් මාසය වන විට සමස්ත ව්‍යාපෘතියම සම්පූර්ණයෙන්ම නිම කිරීමට ඉලක්ක කර ඇත.

මෙම ව්‍යාපෘතිය කඩිනම් කරන අතරතුරම, කොළඹ-මහනුවර පවතින ප්‍රධාන මාර්ගයේ සහ අධිවේගී පිවිසුම්වල දැනට පවතින දැඩි වාහන තදබදය අවම කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරන ලෙස ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක නිලධාරීන්ට උපදෙස් දී තිබේ. මධ්‍යම අධිවේගී මාර්ගයේ “හදවත” බඳු මෙම කිලෝමීටර් 37ක කොටස නිම වීම මහජනතාවට ආර්ථික වශයෙන් මෙන්ම සමාජීය වශයෙන් ද අතිශය වැදගත් වේ. එය සම්පූර්ණ වූ පසු කොළඹ සිට කුරුණෑගල දක්වා ගමන් කාලය විශාල ලෙස අඩු වන අතර, බස්නාහිර, වයඹ සහ මධ්‍යම පළාත් එකිනෙකට යා කරන ප්‍රධාන ආර්ථික කොරිඩෝවක් බවට ද මෙය පත්වනු ඇත. ඇනහිට තිබූ මෙම සංවර්ධනය ජනතාවට කඩිනම් සහනයක් ලෙස යථා තත්ත්වයට පත් කිරීම රජයේ ප්‍රමුඛතම අරමුණ වී ඇති අතර, “නව ආපසු ගෙවීමේ ක්‍රමවේදයන් ඇතුළත් නිල සංශෝධිත ගිවිසුම” ද රැගෙන ඉදිරියේදී පැමිණීමට නියමිත මීළඟ චීන දූත පිරිසේ සංචාරයෙන් පසු, මෙම ඉදිකිරීම් කටයුතු තවදුරටත් වේගවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වත්මන් මාලිමා රජය බලයට පත්වීමෙන් පසුව, මෙරට අධිවේගී මාර්ග ඉතිහාසයේ ඉතා වැදගත් සංවර්ධන යුග මෙහෙවරක් සනිටුහන් කරමින් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉතිරි කොටස් කඩිනමින් නිම කිරීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුව තිබේ. එහිදී දැනට 75%ක වැඩ අවසන් වී ඇති පොතුහැර-රඹුක්කන කොටස 2026 වසරේ මැද භාගයේදී විවෘත කිරීමට සැලසුම් කර ඇත. එමෙන්ම, රුපියල් බිලියන 112.4ක පිරිවැයක් ඇස්තමේන්තුගත, කිලෝමීටර් 18.7ක් දිගු රඹුක්කන-ගලගෙදර කොටසේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 29 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද්දේ සම්පූර්ණයෙන්ම දේශීය කොන්ත්‍රාත්කරුවන්ගේ දායකත්වය මතය. මීට අමතරව, කිලෝමීටර් 58.6කින් යුත් කුරුණෑගල-දඹුල්ල IV වන අදියරේ ඉදිකිරීම් කඩිනම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර, එහි ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු ද 73.3%ක් දක්වා නිම කර ඇත.

අවසාන වශයෙන්, පවතින අධිවේගී මාර්ග ජාලය වඩාත් කාර්යක්ෂම සහ ලාභදායී රාජ්‍ය කළමනාකරණයක් යටතට පත් කිරීම සඳහා 2024 අප්‍රේල් 1 වන දින සිට සමස්ත පද්ධතියම ‘සහස්යා ඉන්වෙස්ට්මන්ට්’ නමැති පූර්ණ රාජ්‍ය සමාගම යටතට පවරා දෙන ලදී. මීට සමගාමීව, වසර 10කට අධික කාලයකින් පසුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 0 සිට 19 දක්වා වූ කොටස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මේ වන විට ටෙන්ඩර් කැඳවා ඇත. මෙම නඩත්තු කටයුතුවලට අමතරව, කිලෝමීටර් 73.9ක දිගකින් යුත් කහතුඩුව-පැල්මඩුල්ල රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉඩම් අත්පත් කරගැනීම සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, මත්තල සිට පොතුවිල් දක්වා දිවෙන නැගෙනහිර අධිවේගී මාර්ගය වැනි නව ව්‍යාපෘති ද සැලසුම් කර ඇත.

ඒ අනුව, මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉතිරි කොටස් දේශීය ශ්‍රමයෙන් කඩිනමින් නිම කර, පවතින අධිවේගී මාර්ග ජාලය රාජ්‍ය කළමනාකරණය යටතේ ලාභදායීව පවත්වාගෙන යමින්, රුවන්පුර හා නැගෙනහිර අධිවේගී මාර්ග වැනි නව ව්‍යාපෘති ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග ජාලය සම්පූර්ණ කිරීම වත්මන් රජයේ ප්‍රධානතම ඉලක්කය වී තිබේ. මෙම දැවැන්ත මූල්‍ය වෙන්කිරීම්, රාජ්‍යතාන්ත්‍රික සබඳතා සහ දේශීය ශ්‍රම දායකත්වය දෙස බැලීමේදී, මෙරට අධිවේගී මාර්ග සංවර්ධනය සාර්ථකව ඉදිරියට රැගෙන යාමට මාලිමා ආණ්ඩුව දරන උත්සාහයේ ප්‍රතිඵල ඉදිරි 2029 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට පෙර දැක ගැනීමට අපට හැකි වනු ඇත. එමෙන්ම එම උන්නතිය හෝ අවනතිය ඉදිරි ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය කෙරෙහි තීරණාත්මක ලෙස බලපානු ඒකාන්තය.

ෆාතිමා හලල්දීන්

එතෙර - මෙතෙර