මීගමු බන්ධනාගාර ගැටුමෙන් 73 වියැති ඉන්දීය රැඳවියකුත් මරුට

මීගමුව බන්ධනාගාරය තුළ පසුගියදා ඇති වූ දරුණු ගැටුමෙන් තුවාල ලැබූ 73 හැවිරිදි එස්. උන්නි ක්‍රිෂ්ණන් නමැති ඉන්දීය ජාතික රැඳවියා ද මියගොස් ඇති බව The Hindu පුවත්පත වාර්තා කර ඇත. වාර්තා කරයි. විදේශ මාධ්‍ය විසින් “ශ්‍රී ලංකා ඉතිහාසයේ බිහිසුණුම බන්ධනාගාර ගැටුමක්” ලෙස හඳුන්වන මෙම සිද්ධියෙන් මියගිය සමස්ත සංඛ්‍යාව මේ වන විට 28 දක්වා ඉහළ ගොස් තිබේ. එම පිරිස අතර බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙකු සහ රැඳවියන් 20 දෙනෙකු සිටින අතර, ගැටුමෙන් තුවාල ලැබූ 100කට අධික පිරිසක් රෝහල්ගත කර ඇත. ඉන් 19 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ බරපතළ තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.මෙම ඉන්දීය ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ දක්වා නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති වුවද, සිද්ධිය පිළිබඳ වාචික සටහනක් ඉන්දීය දූත මණ්ඩලය විසින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත්, මියගිය ඉන්දීය ජාතිකයා සහ එහි රඳවා සිටින සෙසු ඉන්දීය සිරකරුවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් හෝ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය කර නැත.ගැටුමෙන් පසු මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 1,200ක පමණ පිරිසක් ආරක්ෂක හේතූන් මත දිවයිනේ වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇත. ගැටුමට හේතුව මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැති අතර, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ පොලිසිය ඒකාබද්ධ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. මීට පෙර 2012 වැලිකඩ සහ 11 දෙනෙකුට ජීවිත අහිමි වූ 2020 මහර බන්ධනාගාර ගැටුම් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයෙන් හෝ බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉදිරියේදී නිල නිවේදනයක් නිකුත් කිරීමට නියමිතය.

කාලීන පුවත්