ඉන්දියානුවෙකුගෙන් ඓතිහාසික අභ්‍යවකාශ ගමනක්

ඉන්දියානුවකුගේ ඓතිහාසික අභ්‍යවකාශ ගමනක් ගැන පසුගිය දිනවල වාර්තා විය. මෙම ඉන්දියානුවාගේ නම ශුභාංශු ෂුක්ලා ය. ඔහු ඉතිහාසයට එක් වූයේ අභ්‍යවකාශයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය නැමැති අභ්‍යවකාශ විද්‍යාගාරයට ගිය පළමු ඉන්දියානුවා බවට පත් වෙමිනි.

පෘථිවියේ සිට කි.මී. 400 ක් ඉහළ අභ්‍යවකාශයේ පාවෙමින් ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station ) ඇමරිකාවේ නාසා ආයතනය ඇතුළු තවත් අභ්‍යවකාශ ආයතන කිහිපයක් එක්ව පවත්වාගෙන යන විද්‍යාගාරයකි. විවිධ රටවල අජටාකාශගාමීහු වරින් වර මෙම විද්‍යාගාරයට යමින් සති ගණන්, මාස ගණන් එහි රැඳී සිටිමින් අභ්‍යවකාශ ක්‍ෂේත‍්‍රයට අදාළ විවිධ පර්යේෂණවල නිරත වෙති.

ශුභාංශු රැගත් අභ්‍යවකාශ යානය පෘථිවියෙන් නික්මුණේ පසුගිය 25 වැනි දින යි. ඔහු ඇතුළු තවත් අජටාකාශගාමීහු තිදෙනෙක් මෙම අභ්‍යවකාශ ගමනට එක් වූහ.

මේ ගමනට ඉන්දියානුවකු ඇතුළත් වුවත් එය ඉන්දියාව විසින් දියත් කරන ලද අභ්‍යවකාශ චාරිකාවක් නොවේ. එය කි‍්‍රයාත්මක කරන ලද්දේ ඇමරිකානු අභ්‍යවකාශ සමාගමක් වන Axiom Space නැමැති පෞද්ගලික සමාගමක් විසිනි. ඔවුන් මෙම ගමන නම් කර තිබුණේ Axiom 4 යන නමිනි.

ඉන්දියාව ශුභාංශු වෙනුවෙන් මෙම ගමන සඳහා ආසනයක් වෙන් කරගත්තේ එම සමාගමට මුදල් ගෙවීමෙනි. ඉන්දියාවේ අභ්‍යවකාශ කටයුතු භාරව සිටින ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය මේ වෙනුවෙන් ඉන්දියානු රුපියල් බිලියන 5 ක මුදලක් ඉහත කී සමාගමට ගෙවා තිබිණි. එය ලංකා රුපියල් බිලියන 17 කට ආසන්න මුදලකි.

ශුභාංශු ෂුක්ලා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගිය මෙම ගමන ඉන්දියාවට ඉතා වැදගත් ගමනකි. ඔහු ඉදිරි කාලයේ මෙම අභ්‍යවකාශ විද්‍යාගාරයේ රැඳී සිටිමින් ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය වෙනුවෙන් පර්යේෂණ කිහිපයක නිරත වීමට නියමිත ය. එමෙන්ම මෙම ගමන තුළින් ශුභාංශූ අත්කරගන්නා දැනුම සහ අත්දැකීම් ද ඉන්දියාවට අතිශයින් වැදගත් වෙයි. ඉන්දියාව ඉදිරියේ දී ඔවුන්ගේම අභ්‍යවකාශ යානා යොදා ගනිමින් අජටාකාශගාමීන් අභ්‍යවකාශයට යැවීමට සැලසුම් කරමින් සිටියි. එම වැඩපිලිවෙලේ පළමු අභ්‍යවකාශ ගමන නම් කර ඇත්තේ ගගන්යාන්-4 යන නමිනි. එය 2027 වසරේ දියත් කිරීමට නියමිත බව සඳහන් වේ. අජටාකාශගාමීන් සිව් දෙනෙකු මෙහි දී අභ්‍යවකාශයට යාමට නියමිත ය. ශුභාංශු ෂුක්ලා ද ඉන් එක් කෙනෙකි. ඔහු බොහෝ දුරට එම කණ්ඩායමේ නායකයා වනු ඇත. Axiom 4 චාරිකාව තුළින් ඔහු ලබා ගන්නා අත්දැකීම් ගගන්යාන් 4 චාරිකාවේ දී ඔහුට බෙහෙවින් ඉවහල් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.

ශුභාංශු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගිය පළමු ඉන්දියානුවා වන අතර අභ්‍යවකාශයට ගිය දෙවැනි ඉන්දියානුවා යි. මෙයට පෙර තවත් එක් ඉන්දියානුවක අභ්‍යවකාශ ගමනක නිරතව තිබිණි. ඔහුගේ නම රාකේශ් ෂර්මා ය. රුසියානු අභ්‍යවකාශ මෙහෙයුමක් තුළින් ඔහු අභ්‍යවකාශ ගමනක නිතරව තිබුණේ 1984 වසරේ යි. ශුභාංශු ගේ ගමන සිදු වූයේ එයින් වසර 41 කට පසුව ය.

මේ වනවිට 39 වැනි වියෙහි පසුවන ශුභාංශු ඉංජිනේරුවෙකි. එමෙන්ම ඉන්දියානු ගුවන් හමුදාවේ නියමුවෙකි. විවාහකයකු වන ඔහු විවාහ වී සිටින්නේ කම්නා මිෂ්රා නැමැති දන්ත වෛද්‍යවරියක සමග යි.

Axiom 4 ගමන සඳහා ශුභාංශුට අමතරව තවත් අජටාකාශගාමීහු තුන් දෙනෙක් සහභාගි වූහ. මෙම කණ්ඩායමේ නායකයා වූයේ ඇමරිකාවේ නාසා ආයතනයට සම්බන්ධ පළපුරුදු අජටාකාශගාමියකු වන පෙගී විට්සන් ය. ස්ලාවෝස් උස්නාන්ස්කි විස්නිව්ස්කි නැමැති පෝලන්ත ජාතිකයෙක් ද, ටිබෝර් කාපූ නැමැති හංගේරියානු ජාතිකයෙක් ද මෙම ගමනට සහභාගි වූහ. පෝලන්ත සහ හංගේරියානු අජටාකාශගාමීන් දෙදෙනෙකු ද අභ්‍යවකාශයට ගියේ දශක හතරකට පමණ පසු පළමු වතාවට යි.

මෙම ගමනේ දී යානයේ නියමුවා ලෙස කටයුතු කළේ ශුභාංශු වීම ද විශේෂත්වයකි. එය ද ඉන්දියාවට ආඩම්බර විය හැකි කාරණයකි.

මේ සිව් දෙනා සති දෙකක කාලයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටිමින් පර්යේෂණ කටයුතුවල නිරත වීමට නියමිත ය. පර්යේෂණ 60 ක් පමණ ඔවුන් විසින් කෙරෙනු ඇති බව සඳහන් ය. එයින් පර්යේෂණ හතක් සිදු කරන්නේ ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය වෙනුවෙනි.

ඉන්දියාව මේ වනවිට අභ්‍යවකාශ ක්‍ෂේත‍්‍රය තුළ වේගවත් ගමනක නිරතව සිටින රටකි. කලක් මෙම ක්‍ෂේත‍්‍රයේ දැවැන්තයකු වූ රුසියාව පවා මේ වනවිට ඉන්දියාවට දෙවැනි වී ඇති බව පැවසිය හැකිය.

2027 වසරේ තමුන්ගේම යානයකින් මිනිසුන් අභ්‍යවකාශයට යැවීමට අපේක්‍ෂා කරන ඉන්දියාව 2035 වනවිට ඔවුන්ගේම අභ්‍යවකාශ විද්‍යාගාරයක් ද අභ්‍යවකාශයේ පිහිටුවීමට බලාපොරොත්තු වෙයි. එය නම් කර ඇත්තේ Bharathiya Anthariksha Station යන නමිනි. පෘථිවියේ සිට කි.මී. 400 ක් පමණ ඉහළින් මෙය රැඳවීමට ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය බලාපොරොත්තු වෙයි. ටොන් 52 ක පමණ බරින් යුතු මෙම අභ්‍යවකාශ විද්‍යාගාරය තුළ වරකට අභ්‍යවකාශගාමීන් 4 දෙනෙකුට රැඳී සිටිය හැකිය. මෙය කොටස් කිහිපයකින් සමන්විත විද්‍යාගාරයකි. ඒ අතරින් පළමු කොටස 2028 වසරේ අභ්‍යවකාශගත කිරීමට නියමිත ය.

ඉන්දියාව 2040 වනවිට සඳ මත මිනිසුන් ගොඩ බැස්සවීමට ද බලාපොරොත්තු වෙයි. මේ වනවිට සඳට මිනිසුන් යවා ඇත්තේ ඇමරිකාව පමණි. ඇමරිකාව පළමු වරට මිනිසුන් සඳ මත ගොඩ බැස්සවූයේ 1969 වසරේ ජුලි මාසයේ යි. සඳ මත පා තැබූ පළමු මිනිසුන් දෙදෙනා වූයේ නීල් ආම්ස්ට්‍රෝන් සහ බස් (Buzz) ඕල්ඩි‍්‍රන් ය.

මේ අතර ඉන්දියාව 2040 වනවිට සඳ මත මිනිසුන් ගොඩ බැස්සවීමට ද බලාපොරොත්තු වෙයි. මේ වනවිට සඳට මිනිසුන් යවා ඇත්තේ ඇමරිකාව පමණි. ඇමරිකාව පළමු වරට මිනිසුන් සඳ මත ගොඩ බැස්සවූයේ 1969 වසරේ ජුලි මාසයේ යි.

සඳ මත පා තැබූ පළමු මිනිසුන් දෙදෙනා වූයේ නීල් ආම්ස්ට්‍රෝන් සහ බස් (Buzz) ඕල්ඩි‍්‍රන් ය.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්