උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක ප්රදේශයේ පැවති අඩු පීඩන කලාපය, එම ප්රදේශය ආශ්රිතවම පවතිමින් අද (24) දින වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සහ ඉන්දියානු කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව තහවුරු කරයි. කාර්යයේ නියුතු කාලගුණ විද්යාඥ හිමන්ත රන්දික මහතා සඳහන් කළ පරිදි, අදාළ පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වී, ඔක්තෝබර් 25 වන දින වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවටත්, ඔක්තෝබර් 26 වන දින උදෑසන වන විට බෙංගාල බොක්කේ බටහිර මධ්යම ප්රදේශය ආශ්රිතව සුළි කුණාටුවක් බවටත් පත්වීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතියි. ඉන්දියානු කාලගුණ දෙපාර්තමේන්තුවට අනුව මෙම පද්ධතිය ඉදිරියේදී උතුරු ආන්ධ්ර ප්රදේශ් සහ දකුණු ඔඩීෂා වෙරළ දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බැවින්, එහි සෘජු බලපෑම ඉන්දියාවේ නැගෙනහිර වෙරළට එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්රී ලංකාවට නොමැති වුවද, එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්රවාහය දිවයින හරහා ක්රියාත්මක වීම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිතදිග ප්රදේශයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්යම, උතුර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, සෙසු ප්රදේශවල පස්වරු 1.00න් පසුව වැසි ඇති වීමේ හැකියාව පවතී. එමෙන්ම ඇතැම් ප්රදේශවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ද, තවත් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ වැසි ද ඇතිවිය හැකි අතර, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර මෙම කාලගුණික තත්ත්වය හේතුවෙන් බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ දැඩි සුළං සහ රළු මුහුදු ස්වභාවයක් අපේක්ෂා කෙරෙන බැවින්, කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් ධීවර සහ නාවික ප්රජාව සඳහා රතු මට්ටමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. ඒ අනුව, උතුරු අක්ෂාංශ 10° සහ 20° අතරත්, නැගෙනහිර දේශාංශ 80° සහ 95° අතරත් පිහිටි මුහුදු ප්රදේශවල බහුදින ධීවර යාත්රා සහ නාවික ප්රජාව ගමන් කිරීමෙන් වැළකී සිටින ලෙසත්, දැනටමත් එම මුහුදේ රැදී සිටින යාත්රා ආරක්ෂිත ස්ථාන වෙත යන ලෙසත් දැඩිව උපදෙස් දී තිබේ.