උද්ඝෝෂණ කළාට වී වලට මීට වැඩි මිලක් දෙන්නේ නෑ

රජය විසින් වී සඳහා නියම කර ඇති සහතික මිල කිසිසේත් වෙනස් නොකරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කරයි.පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා වී කිලෝවක් සඳහා රුපියල් 120, 130 සහ 140 ලෙස නියම කර ඇති මිල ගණන් නිසි ගණනය කිරීම් සහ විද්‍යාත්මක පදනමකින් යුතුව තීරණය කර ඇති බව සඳහන් කළේය.ඒ අනුව, තෙතමනය සහ වී ප්‍රභේදය අනුව එම මිල ගණන් ක්‍රියාත්මක වන බවත්, එම මිලට වඩා වැඩි මිලක් ඉල්ලා කෙතරම් උද්ඝෝෂණ සහ පීඩනයන් සිදු කළ ද රජය එම ඉල්ලීම්වලට ඉඩ ලබා නොදෙන බවත් ඔහු පැවසීය.රජයේ මූලික අරමුණ ගොවියා මෙන්ම පාරිභෝගිකයා ද ආරක්ෂා කරමින් රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම බව මෙහිදී අවධාරණය කළ අමාත්‍යවරයා, ඒ වෙනුවෙන් අවශ්‍ය ඕනෑම මොහොතක ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට රජය පසුබට නොවන බව ද ප්‍රකාශ කළේය.”අපි වවලා අපි කනවා” යන මතයේ පමණක් එල්බ නොසිට, ජනතාවගේ ආහාර අවශ්‍යතාව ප්‍රායෝගිකව සපුරාලීම රජයේ වගකීම බව ද අමාත්‍ය ලාල් කාන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.මේ වන විට ගොවි සංවිධාන නියම කර ඇති වී මිල ප්‍රමාණවත් නොවන බව පවසමින් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වෙමින් සිටින පසුබිමක අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය සිදු වීම විශේෂත්වයකි.

කාලීන පුවත්