උසස් පෙළ විභාගය අදින් ඇරඹෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද(10) ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.සැප්තැම්බර් 05 වැනිදා දක්වා විභාගය පැවැත්වීමට නියමිතයි.විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් පැයකට කලින් විභාග මධ්‍යස්ථානයට පැමිණෙන්නැයි විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.මෙවර විභාගයට අයැදුම්කරුවන් 372,310 කු පෙනී සිටීමට නියමිතයි.

පාසල් අයැදුම්කරුවන් 264,496ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 107,814ක් ඒ අතරට ඇතුළත් වේ.දිවයින පුරා මධ්‍යස්ථාන 2,532 කදී විභාගය පැවැත්වීමට නියමිතයි.විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ සඳහන් කළේ, මධ්‍යස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.

විභාගය ආරම්භ වීමට පැයකට පෙර සියලුම අයදුම්කරුවන් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළාය.එසේම ජංගම දුරකථන, ස්මාර්ට් අත්ඔරලෝසු, සටහන් හෝ බ්ලූටූත් ඇතුළු කිසිදු ඉලෙක්ට්‍රොනික උපකරණයක් විභාග ශාලාව තුළට ගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් වේ.

විභාග නීති රීතිවලට අනුකූලව කටයුතු කරමින් විභාග වංචාවලින් වළකින ලෙසත්, පසුගිය වසරවල ද විභාග වංචා හේතුවෙන් සිසුන් රැසකගේ ප්‍රතිඵල අත්හිටුවීමට සිදු වූ බවත් විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළාය.

යම් හදිසි ආපදා තත්ත්වයක් මතුවුවහොත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට ද විභාග දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බව ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

කාලීන පුවත්