කෙරවලපිටිය උපපොළේ සිට කොළඹ වරාය උපපොළ දක්වා ඉදිකරන කිලෝවෝල්ට් 220ක දෙවන භූගත සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ඊයේ (6) ආරම්භ විය.
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) අමෙරිකානු ඩොලර් මිලියන 52 ක ණය ආධාර මත ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ, කෙරවලපිටිය සහ කොළඹ වරාය අතර කිලෝමීටර් 16ක දුරකින් යුතුව මෙම භූගත රැහැන් පද්ධතිය ඉදි කරයි.
මීට අමතරව අදාළ උපපොළවල් නවීකරණය කිරීම සහ පාලන පද්ධති ස්ථාපිත කිරීමද මෙයට ඇතුළත්ය.බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් මහතාගේ ප්‍රධානත්වයෙන් කෙරවලපිටිය ග්‍රිඩ් උපපොළ පිවිසුම අසලදී මෙහි සමාරම්භක උත්සවය පැවැත්විය.
එහිදී ඒ මහතා සඳහන් කළේ, කොළඹ වරාය නගරය ඇතුළු කොළඹ ප්‍රදේශයේ ශීඝ්‍රයෙන් ඉහළ යන විදුලි ඉල්ලුම සපුරාලීමට, 2019 වසරේ ඉදිකළ වත්මන් රැහැන් පද්ධතිය ප්‍රමාණවත් නොවන බවයි.මෙම නව ව්‍යාපෘතිය මගින් පද්ධතියේ විශ්වසනීයත්වය ඉහළ යන අතර, නඩත්තු කටයුතු හෝ හදිසි බිඳවැටීමකදී විදුලි සැපයුමට බාධාවක් නොවී විකල්ප මාර්ගයක් ලෙස ක්‍රියා කිරීමට හැකියාව ඇත.
නව ව්‍යාපෘතිය හරහා කෙරවලපිටිය LNG බලාගාරවලින් උත්පාදනය කරන විදුලිය, ජාතික පද්ධතියට එක් කිරීමට මෙන්ම, උතුරු සහ නැගෙනහිර පළාත්වල උත්පාදනය වන පුනර්ජනනීය බලශක්තිය ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමට අවශ්‍ය පහසුකම් සැලසෙනු ඇත.ජනාකීර්ණ නාගරික ප්‍රදේශ හරහා මෙම සම්ප්‍රේෂණ මාර්ගය ඉදිකරන බැවින්, ජනතාවට අවම පීඩාවක් වන පරිදි නවීන තාක්ෂණය භාවිතා කරමින් ව්‍යාපෘතිය නිම කිරීමට සැලසුම් කර ඇත.
සම්පූර්ණ රජයේ සමාගමක් වන National Transmission Network Service Provider සමාගම ස්ථාපනය කිරීමෙන් පසු ක්‍රියාත්මක කරනු ලබන පළමු සම්ප්‍රේෂණ පද්ධති ව්‍යාපෘතිය මෙය වේ.