ගොවියාට සාධාරණ වී මිලක් දීමට රජයට තවමත් නොහැකි වී තිබෙනවා

ගොවි ජනතාව නිෂ්පාදනය කරන වී සඳහා ප්‍රමාණවත් හා සාධාරණ මිලක් ලබාදීමට රජයට මෙතෙක් නොහැකි වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා පවසයි.වී මිල සම්බන්ධයෙන් පවතින වත්මන් අර්බුදය පිළිබඳව අදහස් දක්වමින් ජන හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ඔහු පෙන්වා දුන්නේ සහල් මිල පහළ යාම පාරිභෝගිකයාට යම් සහනයක් ලබාදුන්නද, එහි අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස වී මිලද පහළ යාම ගොවියාට දැඩි බලපෑමක් එල්ල කරන බවයි.මේ වන විට වෙළෙඳපොළේ වී කිලෝවක මිල රුපියල් 85ත් 110ත් අතර විවිධ මට්ටම්වල පවතින අතර, එම මිල ගොවියාගේ නිෂ්පාදන වියදම් හා ඔහු අපේක්ෂා කරන ආදායම සැලකිල්ලට ගත් විට ප්‍රමාණවත් නොවන බවද අමාත්‍යවරයා පිළිගත්තේය.රජය බලයට පත්වන විට වී අලෙවි මණ්ඩලය ක්‍රියාකාරී නොවූ බවත්, රජයේ මැදිහත්වීමකින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලියක් ද නොතිබූ බවත් පැවසූ අමාත්‍යවරයා, මේ වන විට රජය වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගැනීම ආරම්භ කර ඇති බව සඳහන් කළේය.ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 130කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 140කටත් මිලදී ගැනීමට කටයුතු කර ඇති බව ඔහු පැවසීය. එහෙත් රජය මැදිහත් වී මිලදී ගන්නා වී ප්‍රමාණය තවමත් ප්‍රමාණවත් නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට රජයේ භාණ්ඩාගාරය හරහා පොලී රහිත ණය ලබාදීමට තීරණය කර ඇති බවද ඔහු සඳහන් කළේය. එක් මෝල් හිමියකුට උපරිම වශයෙන් රුපියල් කෝටි 2.5ක ණය මුදලක් ලබාදීමට නියමිත අතර, එම ණය ලබාගන්නා මෝල් හිමියන් රජය නියම කරන සහතික මිලට ගොවීන්ගෙන් වී මිලදී ගැනීම අනිවාර්ය කර තිබේ.වී අලෙවියේදී ගොවීන් මුහුණ දෙන තවත් ප්‍රධාන ගැටලුවක් වනුයේ වීවල පවතින තෙතමනයයි. අස්වනු නෙළීමෙන් පසු ප්‍රමාණවත් ලෙස වියළා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ගොවීන්ට වී කිලෝවකින් ලැබෙන මිල අඩුවීම මෙන්ම බර අඩු වීම හේතුවෙන්ද පාඩු විඳීමට සිදුවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.ඊට විසඳුමක් ලෙස ගොවි සමිති මට්ටමින් නවීන තාක්ෂණයෙන් යුත් වී වියළන යන්ත්‍ර ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවද ඔහු අවධාරණය කළේය. එවැනි පහසුකම් ගොවීන්ට සමීපව ලබාදීම මගින් අස්වනු නෙළන අවස්ථාවේදීම අඩු මිලකට වී විකිණීමට සිදුවීම වළක්වා ගත හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.මේ අතර, ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වී වගාවට පමණක් සීමා නොවී ආදායම් මාර්ග විවිධාංගීකරණය කර ගැනීමේ අවශ්‍යතාවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අමතර බෝග වගාව, සත්ත්ව පාලනය සහ වෙනත් කෘෂිකාර්මික හා ග්‍රාමීය ආදායම් මාර්ග වෙත යොමුවීම මගින් එක් බෝගයක මිල වෙනස්වීම් හමුවේ ගොවි පවුල් මුහුණ දෙන ආර්ථික අවදානම අඩු කරගත හැකි බව ඔහුගේ අදහස විය.ශ්‍රී ලංකාවේ වී ගොවිතැන ආහාර සුරක්ෂිතතාවට පමණක් නොව ග්‍රාමීය ආර්ථිකයටද මූලික වන බැවින් වී මිල පිළිබඳ ගැටලුව පාරිභෝගිකයාගේ සහ ගොවියාගේ අවශ්‍යතා දෙපාර්ශ්වයම සලකා විසඳිය යුතු ගැටලුවක් බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. සහල් මිල පාලනය කිරීමේදී ගොවියාට ලැබෙන වී මිල, මෝල් හිමියාගේ වියදම් සහ පාරිභෝගිකයාට දැරිය හැකි සහල් මිල අතර සමබරතාවක් පවත්වා ගැනීම අභියෝගයකි.එබැවින් වී මිලදී ගැනීමේ රජයේ මැදිහත්වීම වැඩි කිරීම, ගොවියාට සහතික මිලක් ක්‍රියාත්මක කිරීම, ගබඩා හා වියළීමේ පහසුකම් පුළුල් කිරීම මෙන්ම වී අලෙවි ජාලය කාර්යක්ෂම කිරීම මෙම ගැටලුවට දිගුකාලීන විසඳුම් සෙවීමේදී වැදගත් වනු ඇත.රජයක මූලික වගකීම වන්නේ ජනතාවගේ ලෞකික ජීවිතය සාර්ථක කරදීම බව සඳහන් කළ ලාල් කාන්ත මහතා, ආහාර, ඇඳුම් පැළඳුම්, අධ්‍යාපනය සහ විනෝදය ඇතුළු ජන ජීවිතයේ මූලික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් රජය උපරිමයෙන් කැපවන බවද වැඩිදුරටත් පැවසීය.

කාලීන පුවත්