ජනාධිපති ලේකම් කාර්යාලය අවට ආරක්ෂක අංශ භාරයට

අද(22)අළුයම තෙක් අරගල කරුවන් අත්පත් කරගෙන තිබූ ජනාධිපති ලේකම් කාර්යාලය අවට පරිශ්‍රය මේ වන විට සම්පූර්ණයෙන්ම ආරක්ෂක අංශ සිය භාරයට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පරීක්ෂණ කටයුතු සඳහා අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් හා ඇඟිලි සටහන් පරීක්ෂණ නිලධාරීන් ඇතුළු අවශ්‍යතාවය අනුව වෙනත් විද්‍යාත්මක සාක්ෂි සඳහා නිලධාරීන් යෙදවීමට නියමිත බවය.එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවේශ මාර්ගයේ ඇති බාධක ඉවත් කිරීම පිණිස අද අළුයම ආරක්ෂක අංශ දැරූ උත්සාහයේ දී ඊට බාධාකාරී ලෙසින් හැසිරුණු පිරිසක් ඉන් ඉවත් කිරීමට දැරූ වෑයම දී ඇති වූ යම් තත්වයක් මිස යම් පිරිසක් ඉලක්ක කොට ආරක්ෂක අංශ විසින් ප්‍රහාර එල්ල කළ බවට දැක්වෙන පුවත් වල කිසිදු සත්‍යතාවයක් නැතැයි පොලීසිය කියයි.එමෙන්ම ගාලු මුවදොර පිටියේ උද්ඝෝෂණ කලාපය ආරක්ෂක අංශ භාරයට ගෙන නොමැති බව ද පොලීසිය කියයි. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහජන ආරක්ෂක ආඥා පනත ප්‍රකාරව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ, මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වන වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා සියලු සාමාජිකයින් කැඳවන බව එම ගැසට් නිවේදනයේ සඳහන් වෙයි.

කාලීන පුවත්